පාර හදන තුරු මැදින්නෝරුව-කටුගම්පලගම පාරේ ලංගම බස් රථ දෙක වර්ජනයේ

  👤  1561 readers have read this article !
Published by : MB WEB 2018-10-22 07:05:13

ගල්ගමුව -අරෝෂණ මාන්නප්පෙරුම

වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම දැඩි ලෙස අබලන් වූ ගල්ගමුව මැතිවරණ බල ප්‍රදේශයට අයත් මැදින්නෝරුව සිට කටුගම්පලගම දක්වා මාර්ගය පිළිසකර කර වාහන ධාවනයට සුදුසු ආකාරයට පත්කරන තුරු එහි ධාවනය වූ ලංගම බස් රථ අද (22දා) සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් අරඹන බව ගල්ගමුව ඩිපෝ කාර්යාලය පවසයි.

ගල්ගමුව නරගයේ සිට බුල්නෑව හරහා මීගලෑව, මැදින්නෝරුව, කටුගම්පලගම දක්වා ධාවනය වූ ගල්ගමුව ඩිපෝවට අයත් බස් රථ දෙකම මේ ආකාරයෙන් ධාවනයෙන් ඉවත්ව තිබේ. මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති නිසා මෙම මාර්ගයේ බස් රථ ධාවනය ඉතාම අසීරු කාර්යයක් වීමත්, බස් රථවලින් ලැබෙන ආදායමට වඩා ඒවායේ නඩත්තු වියදම අධික වීමත් මෙම වර්ජනය ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අදාළ බස් රථ දෙක දිනකට බස් වාර දහයක් මෙම මාර්ගයේ ගමන් ගන්නා අතර දුර ප්‍රමාණය මීටර් 340ක් පමණ වේ. එයින් මැදින්නෝරුව හන්දියේ සිට කටුගම්පලගම දක්වා ඇති කිලෝමීටර් 15ක පමණ මාර්ග කොටස සම්පූර්ණයෙන්ම අබලන්ව පැවැතීම හමුවේ අද සිට මෙම බස් රථ දෙකම ගල්ගමුව සිට මීගලෑව නගරය දක්වා පමණක් ධාවනය කිරීමට ඩිපෝ පාලන අධිකාරිය තීරණය කර තිබේ.

මෙම වර්ජනය හමුවේ කටුගම්පලගම, බෝංගමුව, ගැටිලෑව, මහවැලිතැන්න ආදී ප්‍රදේශවල සිට මීගලෑව, බුල්නෑව, ඇහැටුවැව හා ගල්ගමුව පාසල් ස¼දහා ගමන් ගන්නා පාසල් ළමුන් 250කට ආසන්න පිරිසක් ද මෙයින් පීඩාවකට පත්වන අතර අනෙකුත් මගීන්ද විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිත කිරීමට සිදුවන බව ඩිපෝ පාලන අධිකාරිය කියයි. එසේම වෙනත් පෞද්ගලික බස් රථද ධාවනය නොවන නිසා එම දුෂ්කරතාව තවත් වැඩි වන බවද ඔවුහු සඳහන් කර සිටිති.

එසේම ගල්ගමුව නගරයේ රාත්‍රි හතයි තිහට අවසන් ගමන් වාරය ආරම්භ කරන බස් රථයේ පැමිණෙන බෝගම, කටුගම්පලගම ආදී ප්‍රදේශවල ජනතාවද විශාල අර්බුදයකට මුහුණපාන බවද එම කාර්යාලය සඳහන් කර සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon