මාකඳුර කොන්ක්‍රීට් පාලම හා හාල්වැලිතොට යකඩ පාලම නඩත්තුවක් නැතිව විනාශ වන හැටි

  👤  1352 readers have read this article !
Published by : MB WEB 2018-10-22 10:32:41

කොත්මලේ - ජයතිස්ස මල්දෙණිය

දැනට වසර 06කට ඉදිකිරීම් නිමවුණු කොත්මල් ඔයේ 'හාල්වැලිතොට' යකඩ පාලමේ වම් පැත්තේ සිට මෑතගම ගම්මානයට විහිදෙන මාර්ගයේ මීටර් 500කට දුරින් පිහිටි මාකඳුර ඇළ හරහා ආරම්භ කළ කොන්ක්‍රීට් පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ඇනහිට පවතී.

2017 වර්ෂයේදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රි කොත්මලේ එ.ජා.ප. සංවිධායක අශෝක හේරත් මහතා විසින් වෙන් කර දෙන ලද රු. ලක්‍ෂ 25ක මුදලින් මෙම ඇළ දෙපස කොන්ක්‍රීට් බැමි දෙකක් මත කොන්ක්‍රීට් පාලම ඉදිකර ඇතත් මාර්ගය දෙපස බැමි බැඳ පාලමේ උසට පස් පුරවා සකස් කරන තුරු වාහන ධාවනය කිරීමට හැකියාවක් නැත. එමෙන්ම පසුගිය මාස කිහිපයේදී ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් කොන්ක්‍රීට් පාලමට යාබද භූමිය විශාල ලෙස නාය යෑමකටද ලක්ව ඇත. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී හෙළි වූයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර නොමැති නිසා ඉදිකිරීම් නැවතී ඇති බවයි.

හාල්පොළ - මෑතගම මාර්ගයේ වාහන ධාවනය කිරීමට බාධකයක් වන මාකඳුර ඇළ පාලමේ ඉදිකිරීම් මෙසේ දිගින් - දිගටම ප්‍රමාදවන නිසා රුපියල් මිලියන 110ක් (කෝටි 11ක්) වියදම් කොට නිම කෙරුණු හාල්වැලිතොට යකඩ පාලමද ප්‍රයෝජනයට ගත නොහැකිව දැනට දිරාපත් වෙමින් පවතී.

මෙම පාලමේ දකුණු පැත්තෙන් වැසි ජලයත් සමඟ ගලාගෙන එන මඩ හා පස් පාලමේ යකඩ තහඩු මත තැන්පත් වී තිබෙනු දක්නට ලැබේ. මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ වෙනත් ආයතනයකින් පාලම නඩත්තු කිරීමක් සිදු නොවන නිසා මතුපිට යකඩ තහඩු දිරා පත්වීමේ අවදානමක් පවතින බව ගම්වාසීහු පවසති.

මාකඳුර ඇළ කොන්ක්‍රීට් පාලමේ ඉදිකිරීම් නිම නොවීම හා හාල්වැලිතොට යකඩ පාලම නඩත්තු නොකිරීමෙන් දිරාපත් වීම පිළිබඳව හාල්පොළ ගම්වැසියන් කිහිප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.
යූ.ජී. රොමානිස් මහතා,

'පසුගිය ආණ්ඩුව යටතේ 2009 වර්ෂය අවසානයේදී හාල්වැලිතොට යකඩ පාලම සවි කිරීමේ කටයුතු ආරම්භ වුණා. අවුරුදු තුනක් ඇතුළතදී 2012 වර්ෂය ආරම්භයේදී පාලමේ සවි කිරීම් කටයුතු අවසන් වුණා. මේ පාලම බි්‍රතාන්‍ය ආණ්ඩුවෙන් ලංකා ආණ්ඩුවට ආධාරයක් හැටියට ලැබුණු යකඩ පාලම් ව්‍යාපෘතියේ පාලමක්. ඉන්පසුව හාල්පොළ - මෑතගම මාර්ගයේ ලොකුම බාධකයක් වුණේ මාකඳුර ඇළ හරහා පාලමක් නැතිකමයි. ගම්වැසියන්ගේ ඉල්ලීම් නිසා 2017දී ඇළට පාලමක් සකස් කරන්නට මුදල් වෙන් වුණා. දැන් ඇළ හරහා කොන්ක්‍රීට් පාලමක් සකස් කර තිබෙනවා. ඒත් පාලම උඩින් වාහන ගමන් කිරීමට මාර්ගයේ දෙපැත්ත සකස් කරලා නැහැ.

එයට හේතුව ඒ සඳහා මුදල් වෙන් කරලා නැති බවයි. අපට දැනගන්න ලැබුණේ. පසුගිය වර්ෂා කාලයේදී මේ ඇළේ විශාල ජලපහරක් ගලාගෙන ඒම නිසා දෙපැත්තට නාය යෑමට ලක්වුණා. ගම්වැසියන් පයින් ගමන් කළ අඩි පාරත් විනාශ වුණා. ඒ නිසා දැන් ගම්වැසියන්ට මෑතගම, ගම්මානයට යෑම මල්දෙණිය රෝහලට යෑම අපහසුවී තිබෙනවා. ඒ නිසා මාකඳුර ඇළ පාලම වාහනවලට හා ගම්වාසීන්ට යෑමට හැකි ලෙසට ඉක්මනින් නිම කරදෙන හැටියටයි අපි ඉල්ලා සිටින්නේ.

එල්.ඩී. සිල්වා මහතා,
වසර කිහිපයකට පෙර ඉදිකළ හාල්වැලිතොට යකඩ පාලම දැන් පවතින තත්ත්වය ගැන කනගාටුයි. වැසි ජලයත් සමඟ ගලාගෙන එන රොන්මඩ හා ගවයන්ගේ ගොම පාලම උඩ රැඳිලා තිබීම නිසා යකඩ තහඩු දිරාපත් වෙනවා. හාල්පොළ ගම්වාසීන් කිහිප දෙනකු වරින්වර සුද්ධ පවිත්‍ර කළා. ඒත් දිගින් දිගටම මිනිසුන්ට මේ කටයුත්ත කරන්න අමාරුයි. ඒ නිසා රජයේ ආයතනයකින් මේ පාලම නඩත්තු කළ යුතුයි. එසේ නොකළොත් රු. කෝටි ගණනක් වටිනා මේ පාලම නිකරුණේ විනාශයට පත් වෙනවා. මාකඳුර ඇළ කොන්ක්‍රීට් පාලම සකස් කරන විට පාරේ බැමි මුලින් සකස් කළ යුතු බව ගම්වාසීන් පෙන්වා දුන්නා. ඒත් රජයේ නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවා ඒ ගැන සැලකිල්ලක් දැක්වූවේ නැහැ. දැන් ඒ සඳහා මුදල් නැති බව පවසනවා.

හාල්පොළ ශ්‍රී ගංගාරාම විහාරාධිපති පූජ්‍ය යුදගනාවේ සුජාතසිරි හිමි,
හාල්පොළ - මෑතගම මාර්ගය සකස් කරදීම මේ ගම්මාන දෙකේ ජනතාවට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මල්දෙණිය රෝහලට යෑමටත්, විශාල පහසුවක්. ප්‍රදේශයේ විහාරස්ථාන අතර ශාසනික වශයෙන් සිදු කෙරෙන කටයුතුවලදී කෙටි මාර්ගයක් වශයෙනුත් යෑම ඒම පහසු වෙනවා.

දැනට උඩපනේ හා මැදපනේ කෝරල දෙකක් ගම්වාසීන්ට සම්බන්ධවීමට තිබෙන අවස්ථාව අඩුයි. ඒ නිසා මෙම මාර්ගයේ යෑමට ඒමට තිබෙන බාධක ඉවත් කර දීමට රජයේ නිලධාරීන්ගේ හා දේශපාලන නායකයන්ගේ අවධානය යොමු විය යුතුයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon