නිදහසේ පියා ඩී.එස්. තැබූ ඓතිහාසික සටහන

  👤  2056 readers have read this article !
Published by : MB WEB 2018-10-23 08:23:30

ඔබ කාලයක් බලාගෙන හිටපු 'නිදහසේ පියා ඩී.එස්.' සිනමා නිර්මාණය දැන් ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනත්?

අවුරුදු තුනක් අපි මේ චිත්‍රපටයේ වැඩ කළා. 2015 ඔක්තෝබර් 20 වැනිදා ඩී.එස්. සේනානායක මැතිතුමාගේ උපන් දිනය දවසේ තමයි අපි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගත්තේ.

මේ මාසේ 12 වැනිදා ඉඳන් චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා. අපේ මහන්සියේ ප්‍රතිඵලය පසුගිය 12 වැනිදා ඉඳන් ප්‍රේක්‍ෂකයෝ අතරට ගිය එක ගැන ලොකු සතුටක් තියෙනවා. දැන් අපිට වගකීමක් තියෙනවා චිත්‍රපටය තිරගත වන කාලය පුරාවට හරියාකාරව ප්‍රචාරණ කටයුතු කරමින්

ප්‍රේක්‍ෂකයා අතරට මෙය තව තවත් ගෙනියන්න.

නිදහසේ පියා ඩී.එස්. චිත්‍රපටය සිංහල භාෂාව සහ දෙමළ භාෂාව යන භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය කර මංගල දර්ශනය පවත්වන්න හිතුවේ ඇයි?

අපි පසුගිය 12 වැනිදා මේ චිත්‍රපටය සිංහලෙන් සහ දෙමළ භාෂා දෙකෙන්ම මංගල දර්ශන පැවැත්වූවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඒක වෙන්නේ. සමහරුන්ට හිතෙන්න පුළුවන් අපි මේ චිත්‍රපටය දෙමළ භාෂාවටත් හඬ කවලා පෙන්වන්නේ තව සල්ලි හොයන්න කියලා. අපිට මේ චිත්‍රපටය දමිළ භාෂාවට හඬ කවන්න ගිය වියදම ඇතුළේ තව පොඩි චිත්‍රපටයක් හදන්න තිබුණා. දකුණු ඉන්දියානු හඬ කැවීම් ශිල්පීන්ව යොදාගෙන සම්පූර්ණයෙන්ම චිත්‍රපටය හඬ කවලා, අපි ලොකු වියදමක් ඒ වෙනුවෙන් දැරුවා. ලංකාවේ දමිළ භාෂාව කතා කරන

ප්‍රේක්‍ෂකයන් වැඩිපුර කැමැති ඉන්දියාවෙන් ගේන සින්දු තියෙන සටන් තියෙන දමිළ චිත්‍රපට බලන්න. ඔවුන් මේ චිත්‍රපටය වටකරගෙන බලලා ලොකු මුදලක් හොයන්න පුළුවන් වෙයි කියලා නෙමෙයි අපි මේක කළේ.

සියලුම ජාතීන් එකතුවෙලා ජාතික නායකත්වය විසින් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ගත්ත කතන්දරය සිංහල, දමිළ භාෂා දෙකෙන්ම සිංහල සිනමා ඉතිහාසයට ඉතුරු කරන්න තමයි අපි එය කළේ. ඓතිහාසිකව අපි ලැබුවේ ලොකු ජයග්‍රහණයක්. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම චිත්‍රපටයක් භාෂා දෙකකින් මංගල දර්ශනය තිබ්බ පළමු අවස්ථාව අපි සනිටුහන් කළා.

වසර තුනක් පුරා මහන්සි වුණු චිත්‍රපටය ගැන ඇහුණ කතා සුබවාදී නැහැ. ඇමැතිවරයෙක් චිත්‍රපටයේ නිෂ්පාදනයට එකතුවීම කියන කාරණාවත් එක්ක චිත්‍රපටයට බොහෝ විවේචන එල්ල වුණා නේද?

සිනමාව ගැන දන්නේ නැති පිරිසක් විසින් කියන කතා තමයි ඒ. මම සිංහාවලෝකනය චිත්‍රපටය හදලා ඉවර කළේ 2010 දෙසැම්බර් 25. 2011 ජනවාරි 14 චිත්‍රපටය පෙන්නුවා.

මම එතකොට ලංකාවේ චිත්‍රපටයක් පළමු වරට අධ්‍යක්‍ෂණය කළ කෙනෙක්. නිදහසේ පියා ඩී.එස්. කියන්නේ මගේ හය වැනි චිත්‍රපටය. මම සිංහාවලෝකනය කරද්දී උදයකාන්ත මහත්මයාගේ 18 වැනි චිත්‍රපටය වන 'චැලෙන්ජර්ස්' පෙන්වන්න නියමිතව තියෙද්දී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන සරත් වීරසේකර මහත්මයාගේ ගාමිණි චිත්‍රපටය පෙන්වන්න නියමිතව තියෙද්දී ඒ චිත්‍රපට දෙකම පිටුපසට තල්ලු කරලා මගේ චිත්‍රපටය රිලීස් කළා. එතකොට මගේ චිත්‍රපටයේ වැඩ නිම කරලා දවස් 20ක් වගේ වුණේ. හැමදාමත් සිනමා මණ්ඩලය තමයි තමුන් ඊළඟට තිරගත කරන චිත්‍රපටය තීරණය කරන්නේ.

සිනමාව ගැන අවබෝධයක් නැති අය, කුහකකමට කතා හදනවා. මේ චිත්‍රපටයට විජයදාස රාජපක්‍ෂ මහතා විතරක් නෙවෙයි තව නව දෙනෙක් සල්ලි දාලා තියෙනවා.

දේශපාලන චරිතයක් ඉලක්ක කරගෙන කළ මේ නිර්මාණය යම් පාර්ශ්වයක න්‍යාය පත්‍රයකට ගොඩනැඟුණක් කියලත් සමහරු චෝදනා නඟනවා?

ඇයි අපි දේශපාලන චරිතයක චිත්‍රපටයක් කරන්න ඕනේ නැත්තේ. මහත්මා ගාන්ධි ගැන චිත්‍රපට හැදුණා නම්, ඉන්දිරා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා ගැන චිත්‍රපට හැදුණා නම් ලෝක සිනමාව කරන දේවල් නොකර ඉන්න තරම් මාර සිනමාවක් තියෙන රටක් නෙවෙයිනේ අපේ රට. අපි හැම වෙලාවෙම බලන්නේ ලෝක සිනමාව දිහා. ලංකාවේ මීට කලින් දේශපාලන චරිතාපදානයක් හැදිලා නැහැ කියන්නේ එහෙනම් ඒක කරන්න කවුරු හරි අකැමැති වෙලා තියෙනවා. නැත්නම් ඒකට මුදල් යොදවන්න කවුරු හරි අකැමැති වෙලා තියෙනවා. නැත්නම් මොකක් හරි හේතුවක් නිසා ලංකාවේ මීට කලින් දේශපාලන චරිතාපදානයක් හැදිලා තිබුණේ නැහැ.

මේක ලංකාවේ පළමු වැනි දේශපාලන චරිතාපදානය. හැදුවට පස්සේ එක එක කතා කියනවා. අපි නිදහස ගත්ත විදිය, ජාති, ආගම් භේද සලකන්නේ නැතිව අපේ නිදහසේ සටනට දායක වූ පුද්ගලයන්ගේ කතන්දරය රූප මාධ්‍යයෙන් අපේ සිනමාවේ ඉතුරු කරන්න ඕනේ නැත්තේ ඇයි?

නොකරපු දෙයක් කරනවා කියන එකම අභියෝගයක්. චිත්‍රපටය කරද්දී ආ අභියෝගවලට ඔබ සාර්ථකව මුහුණ දුන්නා කියලා හිතනවාද?

මම චිත්‍රපටයේ තිරගත කිරීම් ආරම්භ කරද්දීම තමයි ප්‍රතිවිරුද්ධ මත ඇති වෙන්න ගත්තේ. මම කළේ ඒවා නොසලකා හරින එක. මම දැන් චිත්‍රපටය හදලා ඉවරයි. මම දැනුත් චිත්‍රපටයට නැඟෙන ප්‍රතිවිරෝධය නොසලකා හරිනවා. ලෝකයේ කිසිම කෙනෙක්ට චිත්‍රපට හදන්න බෑ සියලු දෙනාම සතුටු කරන්න. නරක කියන මිනිස්සු ඉන්නවා. අපිට පුළුවන් වෙන්නේ යම් ප්‍රේක්‍ෂක පිරිසක් සතුටු කරන්න විතරයි. මේ මට්ටමට මම මේකට මුහුණ දුන්න එක ගැන මට සතුටුයි.

මේ වගේ දේශපාලන චරිතාපදාන නිර්මාණයක් කරද්දී ඔබේ
අධ්‍යක්‍ෂණ කාර්යයට අමතරව තවත් බොහෝ සාධකවල සහාය අවශ්‍යයි. ඒ සාධක එකතු කරගැනීමේදී ඔබට ආපු අභියෝග මොනවාද?

මේ චිත්‍රපටය අපිට මීට වඩා පහසුවෙන් හදන්න තිබුණා. අනෙක් පාර්ශ්වවලින් අපිට ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ පාර්ශ්වවලින් ඒ සහයෝගය අපිට නිසි වෙලාවට ලැබුණෙත් නැහැ. මම අදහස් කරන්නේ දේශපාලන පක්‍ෂ පැත්තේ සහාය නෙවෙයි. අදාළ දේශපාලන පක්‍ෂයෙන් අපි කිසිම විදියට මුදල් ඉල්ලුවෙත් නැහැ. උදවු ඉල්ලුවෙත් නෑ.

මම එක උදාහරණයක් කියන්නම්. අපිට මේ චිත්‍රපටයට අශ්වයෝ ඕන වුණා. ලංකාවේ හොඳම අශ්වයෝ ඉන්නේ ශ්‍රී ලංකා පොලිසියේ. ශ්‍රී ලංකා පොලිසියෙන් අපි මුදල් ගෙවලා අශ්වයෝ ලබා ගන්න ලිපියක් ඉදිරිපත් කළාම ඔවුන්ගෙන් අපිට ලිපියක් ලැබුණා. "ඒ අශ්වයෝ ගොඩක් වටින අය. රූගත කිරීම්වලට දීලා ඔවුන් අසනීප වුණොත් කියලා අපිට අශ්වයෝ ලබාදෙන්න බෑ" කියලා.

අපි දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන චිත්‍රපටයක් කළා නම් ඊට ඉහළ තැනකට ගිහින් අශ්වයෝ ටික ගන්න තිබ්බා. නමුත් මම කළේ පෞද්ගලික ආයතනයකින් අශ්වයෝ ගන්න එක. මගේ චිත්‍රපටයට පස්සේ කරපු චිත්‍රපටයකට පොලිසියේ අශ්වයෝ ටික ගත්තා.

මේ වගේ විවේචන එයි කියලා එදා දැනගෙන හිටියා නම් ඒ උදවු අපිට ගන්න තිබ්බා. අපේ හෘදසාක්‍ෂියට එකඟව ස්වාධීනව වැඩකළ එක ගැන මට සතුටුයි.

චිත්‍රපටයේ රූගත කිරීම්වලට බෝතලේ වලව්ව ගන්න නොහැකි වෙන්නෙත් ඔය කියන සහාය නැති නිසාද?

ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ කමිටුවේ සභාපතිතුමා තමයි කථානායක කරු ජයසූරිය මැතිතුමා. මේ කමිටුව මඟින් මේ චිත්‍රපටය රූගත කරන්න අනුමැතිය ලැබිලා තිබුණා.

චිත්‍රපටයට සහාය දක්වන්න කැමැත්ත පළ කළ ලිපියක් තිබුණා. චිත්‍රපටය කරගෙන යද්දී අපිත් එක්ක වැඩ කරපු පුද්ගලයෙක්ව අපිට මේ නිෂ්පාදනයෙන් ඉවත් කරන්න වුණා. ඒ අදාළ පුද්ගලයා විසින් අවශ්‍ය සේවය ලබා දෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාව අයින් කරනවානේ. ඒ පුද්ගලයා මේ කමිටුවට ගිහින් කියලා තියෙනවා අපි චිත්‍රපටයේ තිර පිටපත වෙනස් කරලා ඩී.එස්. සේනානායක චරිතයට හානි කරන්න යනවා කියලා.

මේ පුද්ගලයා තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්න කලින් කමිටුවේ සාමාජිකයන් හමුවීමට මුලින් ගියේ. කමිටුවේ ලේකම්තුමාව නිතර ඒ පුද්ගලයා හමුවන නිසා ඔහු කියන දේ හරි කියලා ලේකම්තුමා හිතුවා. ලේකම්තුමා ලිපියක් නිකුත් කළා චිත්‍රපටයට සහාය දෙන එක අත්හිටුවනවා කියලා. ඒ ලිපිය නිසා තමයි බෝතලේ වලව්ව රූගත කිරීම් සඳහා ගන්න බැරි වුණේ. අපි සෙට් හදාගෙන ලොකේෂන් හොයාගෙන වැඩේ කළා.

ඔබ තෝරාගත් ශිල්පීන්ගෙන් ඔබට හොඳ දායකත්වයක් ලැබුණාද?

මේ චිත්‍රපටය කරගෙන යද්දී මට එක පුද්ගලයෙක් මුණ ගැහුණා. මේ චිත්‍රපටයට යන සියලුම වියදම දරන්න ඔහුගේ පුතාව ඩී.එස්. සේනානායක මහත්තයාගේ තරුණ කාලයට ගන්න කියන එක තමයි ඔහුගේ ඉල්ලීම වුණේ. මම ඒකට කැමැති වුණේ නැහැ. ගැළපෙන්නේ නැති නළුවෙක් දාලා මට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න බෑනේ. අපි මේ චිත්‍රපටයට රංගන ශිල්පීන්ව තෝරාගත්තේ ඒ චරිතවල මුහුණුවරට.

චරිත තෝරාගත්තම අපිට තිබ්බ චෝදනාවක් තමයි මේ චිත්‍රපටයට වැඩි හරියක් අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කලාකරුවෝ කියලා.

දේශපාලන මතය බලලා නෙවෙයි අපි චරිත තෝරා ගත්තේ. චරිතවලට ගැළපෙනම අය අපි ගත්තේ. අපි ස්වාධීනව චරිත තෝරාගත්තා. අරයා මෙයා කියපු චරිත මම චිත්‍රපටයට ගත්තේ නැහැ. තෝරාගත්ත නළුවෝ, නිළියෝ වෘත්තීය මට්ටමෙන් තමන්ගේ දායකත්වය දුන්නා. අපි පොඩි චරිතයකට පවා ප්‍රවීණ නළු නිළියන් ගැනීම තුළ අපිට ඔවුන්ව අධ්‍යක්‍ෂණය පහසු වුණා. සමස්තයක් ලෙස නිෂ්පාදන කණ්ඩායම, රංගන ශිල්පීන්, ශිල්පිනියන් මේ සියලු දෙනා උපරිම සහය දුන්නා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon