සොබාදහමේ ආශිර්වාදයෙන් තොරව මිනිසාට ඉදිරි ගමනක් නොමැති බව ජනපති පවසයි.

  👤  980 readers have read this article !
Published by : MB WEB 2018-10-19 15:42:22

සොබාදහමේ ආශිර්වාදයෙන් තොරව මිනිසාට ඉදිරි ගමනක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති පරිසර සම්මාන උලෙළ 2018 අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තම ජීවිතයට ආදරය කරන සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතන සෑම පුරවැසියෙකුම සොබාදහම සුරැකිය යුතු බවයි.

පරිසර සංරක්ෂණය සහ රටේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා තම ජීවිතයේ සෑම සුබ කටයුත්තකදී ම පැළයක් සිටුවිම පුරවැසියෙකු සමස්ත මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා ඉටුකරන සුවිශේෂී වගකීමක් සහ යුතුකමක් වනු ඇති බව ද සඳහන් කළේ ය.

පරිසර හිතකාමී පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන උළෙල පරිසර හිතකාමී කර්මාන්ත සහ සේවාවන් දිරි ගැන්වීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබයි. "නීල හරිත යුගයක්" අනාගත ශ‍්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන "ශ‍්‍රී ලංකා නෙක්ස්ට්" වැඩසටහන යටතේ එය කි‍්‍රයාත්මක ය.

පාරිසරික ප‍්‍රදර්ශනය, දේශගුණික විපර්යාස පිළිබඳව මාධ්‍ය හමුව, පාසල් දරුවන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන්, සොබා චලන චිත‍්‍රපට උලෙළ, සාගර පරිසරය පිළිබඳ විශේෂඥ සංවාද, නීල හරිත ගම්මාන කතිකාව, දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපාරික හමුව, කඩොලාන පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ ප‍්‍රායෝගික වැඩසටහන, අන්තර්ජාතික ඛනිජ සම්මන්ත‍්‍රණයේ දෙවන අවස්ථාව, තිරසර නිෂ්පාදනය සහ පරිභෝජනය පිළිබඳ ජාතික කතිකාවත, වන පර්යේෂණ සම්මන්ත‍්‍රණ, දේශගුණික විපර්යාස පිළබඳ ගෝලීය තරුණ සංසදයේ හමුවීම්, සමුද්‍ර පරිසරය පිළිබඳ සිව්වන ජාතික විද්වත් සමුළුව, රාජ්‍ය ප‍්‍රජා සහයෝගිතා ජාතික රුක් රෝපණ වැඩසටහන ඇතුළු වැඩසටහන් රැසක් මෙවර ජනාධිපති පරිසර සම්මාන උලෙළට සමගාමීව කි‍්‍රයාත්මක කෙරෙයි.

පාරිසරික විෂය ක්ෂේත‍්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආයතන, කර්මාන්ත හා සේවා, පාසල්, පුද්ගලයන්, සිවිල් සංවිධාන, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන් ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන්ම "ශ‍්‍රී ලංකා නෙක්ස්ට්" පාරිසරික ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එම ප‍්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් වූ අතර එම කාර්ය මණ්ඩල සමඟ සුහද කතා බහක නිරත විය.

"ජනාධිපති පරිසර සම්මාන 2018" සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම යන මහත්වරන් ද, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon