ෂීි ජින් පිංගේ ඒකාධිපතිත්වයෙන් චීනය විනාශ වේවි ඇමෙරිකානු සඟරාවක් පෙන්වා දෙයි

  👤  1479 readers have read this article !
Published by : MB WEB 2018-10-17 15:05:01

චීන ජනාධිපති ෂී ජින් පිං ඔහුගේ බලය හා කීර්තිය වර්ධනය කර ගැනීම උදෙසා දරන උත්සාහයෙන් ඔහුගේ රටට මෙන්ම ලෝකයටද හානිකර ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඇමෙරිකා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ උසස් සඟරාවකින් පසුගිය සඳුදා ප්‍රකාශ විය. "දශක ගණනක් තිස්සේ ඒකාධිපති පාලනය නිසා උද්ගත වුණු බොහෝ ගැටලු විස¼දා ගැනීමට චීනය සමත් විය.

එහෙත් දැන් ෂී ජින් පිං බල සෙල්ලම නිසා චීනයේ විශේෂත්වයට පත් සියල්ල, ගරා වැටීමේ අවදානමට ලක්ව තිබේ" එම සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජොනතන් ටෙපර්මන් එහි සඳහන් කර ඇත.

2012දී බලයට පත්වූ තැන් පටන් ෂී ජින් පිං චීනයේ "සාමුහික නායකත්වය" පිළිබඳ කාර්ය පද්ධතිය කඩා බිඳ දැමීමට කටයුතු කළේ යැයි ටෙපර්මන් "චීනයේ මහා ප්‍රතිගාමි පිම්ම" යන මාතෘකාව යටතේ ලියූ දීර්ඝ ලිපියක සඳහන් විය.

පළමුවෙන්ම දූෂණයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් හෙතෙම අපරාධකරුවන් සේ ඔහු සැලකූ බොහෝ නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් බැහැර කොට ඒ වෙනුවට ප්‍රබල නායකයාට ළැදි වූවන් ප්‍රසාද දීමනා මත තවත් සමහරුන් ඔහු කෙරෙහි දැක්වූ බය පක්ෂපාතිකම අනුවද පිරිසක් පත්කර ගත්තේය යනුවෙන්ද එම ලිපියෙහි සඳහන් විය.

කිසියම් තරගකාරිත්වයක් පිටුදැකීම සඳහාම නොව, තමන් වෙතම බලය ඒකරාශි කර ගැනීමේ එකම අරමුණ ඇතිව ජින් පිං චාර සීමා අවලංගු කොට අනුප්‍රාප්තිකයකුද නම් නොකර, "තමා හැම දේකම නායකයා" බවද ප්‍රකාශ කළ බවද එම ලිපියෙන් තවදුරටත් සඳහන් විය.

එම ලිපියෙන් තවදුරටත් දැක්වෙන පරිදි, චීනයේ ආර්ථික ගැටලු පාලනයන් පිටතට පැන ගිය හොත් රාජ්‍යය බිඳ වැටීමට ඉඩ තිබේ. ජින් පිං ගෙන යන අන්දමේ එකාධිපති පාලනයක් පවත්නා රටක එය සාමාන්‍ය සිද්ධියකි. ආර්ථිකයේ ක්ෂණික බිඳ වැටීමකට මෙන්ම බාහිර තර්ජනවලටත් ජනතා අරගලවලටත් එය හේතුවනු ඇත.

එසේ සඳහන් කරන සඟරා කතුවරයා, චීනයේ ආර්ථික ගැටලු වඩාත් උග්‍ර අතට හැරුණොත් ජනතාවගේ සිත් වෙනත් අතකට හරවා දේශීය අර්බුදය ඔවුනට අමතක කරවීම සඳහා බාහිර සාධක මවා පාමින් ඔවුන් රැවටීමට උත්සාහ කරනු ඇතැයිද අනතුරු අඟවයි.

ඒ සමඟම ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් පවත්නා මේ අවස්ථාවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම යුද්ධය වඩාත් උග්‍ර තත්ත්වයට පත්වන සේ චීනය ඇවිස්සීමට උත්සාහ කළහොත් චීන ජනාධිපතිට ඔහුගේ ජනතාව රැවටීමට එය උපකාරයක් වනු ඇතැයිද ලිපියෙන් කියැවිණි.

එවැනි තත්ත්වයක් යටතේ චීන නායකයා බලකාමිත්වයෙන් බැහැරව යළිත් සියලු නීති රීතිවලට අනුව රටේ විශේෂත්වය උදා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි සෙසු ලෝකය බලාපොරොත්තු වන බවද සඟරා කර්තෘ ටෙපර්මන් සඳහන් කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon