හාලිඇළ ගම්මිරිස් ගොවියෝ දුක කියති

  👤  1908 readers have read this article !
Published by : MB WEB 2018-10-17 09:17:12

ඇටම්පිටිය - රත්න වීරසිංහ

දැනට වසර හතළිහකට අධික කාලයක් තිස්සේ සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස ගම්මිරිස් වගා කළ තම ප්‍රදේශයේ පවුල් සිය ගණනාවක් මේ වන විට තම පවුල්වල දෛනික ජීවිතයේ අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දැඩි අසරණ බවට පත්ව සිටින බව හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගම්මාන රැසක ගොවි ජනතාව පවසති.

දශක කීපයක් තිස්සේ අගහිඟයකින් තොරව තම ජීවිත සාර්ථක කරගැනීමට ගමිමිරිස් වගාව විශාල ශක්තියක් වුවද පසුගිය වසරේදී ගම්මිරිස් මිල නොසිතූ තරම් විශාල ලෙස පහත වැටීමෙන් තමන් මෙම
දුෂ්කරතාවට පත්වූ බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් හාලිඇළ - කැටවල පනාකන්නිය ප්‍රදේශයේ ගම්මිරිස් ගොවියෝ මෙසේ අදහස් දැක්වූහ.
එච්.එම්. ආරියවංශ,

"බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වගේම විශේෂයෙන් හාලිඇළ හා උෟව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් උමාඔය දෑලේ පිහිටි ගම්මාන රැසක් ගම්මිරිස් වගාවට නම් දරා සිටිනවා.

එම ගම්මානවල ගම්මිරිස් වගාවන්හි අස්වැන්නද ඉතා ඉහළයි. ඒත් මීට පෙර ගම්මිරිස්වලින් ගත් මුදලින් අඩක්වත් මෙවර අපට ගන්න බැරිවුණා. ඒ රජයේම ඇමැතිවරයෙක් මැදිහත්ව කළ නොහොබිනාකමක් නිසායි. රටේ ජනාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් ජනතාවට සාධාරණයක් ඉටුකරනවා කියා පොරොන්දු වුණත් පොරොන්දු ඉටු කළෙත් නෑ. වරද කළ ඇමැතිවරයාට දඬුවමකුත් නෑ. ඒ නිසා මේ ගැටලුවට වගකිව යුතු, මේ ගැටලුව ඇති කළ රජයම මීට පිළියමක් යෙදිය යුතුයි"

ඊ.පී.ඒ. ඉලේපෙරුම,
"හාලිඇළ, කැටවල ලන්දෙවල, පනාකන්නිය, බෝගොඩ, හලාබ, මහකුඹුර, වාසනාගම, ඇටම්පිටිය, වේරගම, ගාවෙල, හොරතොට, මස්පන්න වගේ ගම් ප්‍රදේශ රැසක වැඩි දෙනකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ ගම්මිරිස් වගාව. අපි මේ ගම්මිරිස් වගාකරන්නේ අවුරුදු තිහ - හතළිහකට පෙර සිට. මේ වගාවෙන් තමයි අපි මෙතෙක් කලක් අපේ දරු පවුල් පෝෂණය කළේ. ගේ දොර හදාගත්තේ. දරුවන්ට ඉගැන්නුවේ. හැමදේම කළේ.

ඒ තරම් හොඳ ආදායමක් එයින් ලැබුණා. ඒත් පසුගිය අවුරුද්දේ ගම්මිරිස් අපේ වෙළෙඳපොළ විනාශ කිරීම නිසා ඒ සියල්ල නැතිවී අද අපි පවුල් දහස් ගණනක් අන්ත අසරණ තත්ත්වයට වැටිලා සිටිනවා."

කාන්ති මංගලිකා,
"මේ ප්‍රශ්නය නිසා දැන් අපේ ගෙවල් ‍ෙදාරවල්වල පවා වෙනදා නොවූ ප්‍රශ්න ඇතිවෙලා. දරුවන්ට පොත් පත් ගන්න ගියත්, ගෙදර දොර අලුත්වැඩියාවක්, නඩත්තුවක් කරන්න ගියත්, ගමේ මරණයක්, මඟුලක් වගේ කටයුතුත්තදී වුණත් මුදල් ප්‍රශ්න. වියදම් දරාගන්න විදිහක් නෑ. මේකෙන් ජීවත් වෙන්න බැරි නිසා ගෙවල්වල පිරිමි අයට වෙනත් රැකියා හොයාගෙන යන්න වෙලා. වගාවල් නඩත්තු කරන්න විදියක් නෑ. කුලියට කෙනෙක් ගන්නත් බෑ. ඒ අයට ගෙවන්න විදියක් නෑ. හැමෝම කන කර පවා උකස් කරලා, සන්තකේට තිබුණු මුදල් සේරම වගාවට යටකරලා. දැන් කනකර බඩු බැංකුවලට සින්න වෙනවා. බලාපොරොත්තු ගොන්නක් එක්ක ගම්මිරිස් වගාව වගා කරලා පැත්තක සිටි කෙනෙක් කළ වරදක් නිසා අපි දැන් ලොකු අමාරුවකට වැටිලා."

ඩී.එම්. සෙනෙවිරත්න,
"ගම්මිරිස් ගොවීන් රැකගැනීමට වගකීම තිබෙන ඇමැතිවරයාම මැදිහත් වෙලා පිටරටින් බාල ගම්මිරිස් ගෙනත් අපේ ගමමිරිස්වලට කලවම් කරලා ප්‍රති අපනයනය කිරීම නිසායි මේ අවුල ඇතිවුණේ. ඊට පෙර අපි රුපියල් එක්දාස් පන්සීයට විතර ගම්මිරිස් වික්කා. ඒත් දැන් කිලෝව පන්සීයයි. අපට වගාවට කළ වියදමවත් සොයාගන්න බෑ. රජය මුලින් කීවා මේ තත්ත්වයෙන් ගොවීන් මුදවා ගන්න රජය මැදිහත් වී රුපියල් නවසීය ගණනේ ගම්මිරිස් ගන්නවා කියලා. වගා හානිය ගෙවනවා කීවා. ඒත් එක ගම්මිරිස් ඇටයක්වත් රජය මිලදී ගත්තෙත් නෑ. සත පහකවත් වන්දියක් දුන්නෙත් නෑ. හැමදාමත් ජනතාව රවට්ටන දේශපාලකයන් මේ ගැන දුන්නෙත් බොරු පොරොන්දු."

ඩබ්.එම්. ජයරත්න බණ්ඩා,
"මේ රටේ අගමැතිවරයා කියන විදියට මේ ගම්මිරිස් කියන්නේ කෑලෑවේ ඉබේ හැදෙන වැලක් නොවේ. නිසි විදියට බිම සකසා, ආධාරක සිටවන්න ඕන. පැළ සිටුවන්න, පොහොර දාන්න, ගස් කප්පාදු කරන්න ඕන.

කරල් කඩාගන්න පවා සෑහෙන වියදමක් දරන්න ඕන. දැන් ඉස්සර වගේ අඩුවට කම්කරුවෙක්වත් හොයාගන්න නෑ. තියෙන වියදම්වල විදියට ඒ අයත් ලොකු ගණන් ඉල්ලනවා. ඒ සේරම කරලා අස්වැන්න සුද්ද කරලා, වේළලා ප්‍රවාහන වියදම දරාගෙන වෙළෙඳපොළට ගෙන ගියාම එතැන සාධාරණ මිලක් නැති වුණාම අවුරුද්දක් දරපු සේරම වියදමත්, මහන්සියත් අපතේ. අපනයන බෝග දෙපාර්තමේන්තුවෙන්වත් කලින් තරම් සේවයක් දැන් සිදුවන්නේ නෑ. වෙළෙඳ අමාත්‍යාංශයක් තිබුණාට වැඩක් නෑ. වෙළෙඳපොළ පාලනය කරන්නේ මුදලාලිලා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ රටේ ගම්මිරිස් වෙළෙ¼දපොළ යළි යථා තත්ත්වයට ගේන්න අවශ්‍ය පියවර ගන්න
කියලයි."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon