පහළ වලේබොඩ කම්බි පාලමේ කම්බි දිරාපත් වෙලා

  👤  1892 readers have read this article !
Published by : MB WEB 2018-10-17 08:01:57

බළන්ගොඩ -නලින්ද වලේබොඩ

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහළ වලේබොඩ ගම්මානයත් බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීතගල ගම්මානයත් යා කරමින් වලවේ ගඟ හරහා ඉදිකර ඇති වසර 100ක් පමණ පැරණි පහළ වලේබොඩ කම්බි පාලමේ කම්බි දිරාපත් වීම හේතුවෙන් පාලම කඩා වැටීමේ අවදානමක් පවතින බවට වාර්තා වේ.

පාසල් දරුවන් ඇතුළු දෛනිකව පවුල් 1500ක ජනතාවක් එගොඩ මෙගොඩ යෑම සඳහා මෙම අවදානම් පාලම භාවිත කරන බව ජනතාව පවසති. සීතගල, පහළ වලේබොඩ, ගල්ලෙනකන්ද, කට්ට¾ඩිකන්ද, මිනුම්කුඹුර, හිටුවල, හින්නඋඩ, මඩොල්පිටිය, වලේබොඩ වත්ත, ඇතුළු ගම්මාන රැසක ජනතාව මේ හේතුවෙන් අසරණ වී සිටිති. දිගින් අඩි 160ක් පමණ ඇති මෙම අබලන් කම්බි පාලම ගඟේ සිට අඩි 50ක් පමණ ඉහළින් ඉදිකර තිබේ.

නිල්මිණි දමයන්ති මහත්මිය
අපිට වලවේ ගඟෙන් එගොඩ මෙගොඩ වෙන්න තිබෙන්නේ මේ පාලම විතරයි. අපි හැම බලධාරියකුටම මේ පාලමේ බයක් සැකක් නැතිව යන්න පුළුවන් විදියට හදලා දෙන්න කියලා කිව්වා. ඒත් ඒ ගැන කිසිම කෙනෙක් අවධානය යොමු කළේ නෑ. ඡන්ද කාලෙට එනවා පාලම බලලා යනවා.

එච්චර තමයි. මේ පාලම හදලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වලේබොඩ ගුණවර්ධන මහතා,
පාලම හදලා දෙන්න කියලා ඉල්ලීම් කරලා දැනට වසර ගණනාවක් වෙනවා. පළාත් සභාවේ බලය තිබෙන කාලයේ ලිපියක් හදලා ඇමැතිතුමාට ගිහිල්ලා භාර දුන්නහම කිව්වා සල්ලි නෑ කියලා. මේ පාලමේ තිබෙන අවදානම් තත්ත්වය ගැන කියන්න පුළුවන් හැම තැනකටම කිව්වා. මේ පාලමෙන් බොහෝ ජනතාවක් එගොඩ මෙගොඩ යනවා. පාලමේ කම්බි දිරලා. පාලම මතින් ගමන් කිරීම විශාල අවදානමක්.

පාලමේ ගමන් කරන විට ඔන්චිල්ලාව වගේ පැද්දෙනවා.

ඩබ්ලිව්. වී. සෝමරත්න මහතා - මේ පාලම කඩාවැටෙන්න ඔන්න මෙන්න වෙලා තිබෙන්නේ. නගරයේ පාසල්වලට යන දරුවන් රෑ හත අට වෙනකම් මේ පාලමෙන් එගොඩ මෙගොඩ යනවා. මේ පැත්තේ මිනිස්සු ජීවත් වෙන්නේ තේ වගාවෙන්. තේ වතුවලට යනවා. දලු කඩා මේ පාලම කම්බි පාලම උඩින් දලු උස්සාගෙන යනවා. මේ කම්බි පාලම හදලා අවුරුදු 100ක් විතර වෙනවා. පාලමේ ප්‍රධාන කම්බි දිරාපත් වෙලා. පාලම එක පැත්තකට ඇලවෙලා තිබෙන්නේ. මිනිස්සු එගොඩ මෙගොඩ යන්නේ හරි බයෙන්. ඊට වඩා අවදානම්.

මේ සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ,

මේ පහළ වලේබොඩ කම්බි පාලමේ කම්බි දිරාපත් වී අවදානම් තත්ත්වයක් ඇතිවී තිබෙන බව ජනතාව දැනුම් දීමක් කරලා තිබෙනවා. මේ පාලම බළන්ගොඩ සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ දෙකටම අයිතියි. ඒත් මගේ වගකීම අනුව මම මේ අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කළා, පාලමේ පවතින අවදානම් තත්ත්වය හේතුවන් ආපදාවක් ඇති විය හැකි බැවින් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලැබෙන මුදල්වලින් මේ අවදානම් පාලම ප්‍රතිසංස්කරණ කරන්න මුදල් ලබාදෙන ලෙස.

ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා ලැබෙන මුදල්වලින් ප්‍රතිපාදන වෙන්කිරීමක් වූ පසු පාලම ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කළ හැකියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon