බිලිඳකුට බියර් පෙවීමේ සිද්ධියේ නඩුව ලබන මස 16දාට කල් යයි

  👤  1454 readers have read this article !
Published by : MB WEB 2018-10-15 14:33:21

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

බිලිඳකුට බියර් පෙවීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් හා ඒ සම්බන්ධ නඩුව ලබන මස 16 වැනිදා යළි කැඳවන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් ජේ.කේ. ප්‍රභාත් මහතා නියෝග කර තිබේ.

පසුගිය ජූලි මාසයේ දිනෙක සාදයක් අතරතුරදී කුඩා දරුවකුට බියර් පෙවීමේ සිද්ධිය සම්බන්ධ වීඩියෝව අන්තර්ජාලය හරහා විකාශනය වීමත් සමඟ සිදුකෙරුණු පොලිස් පරීක්ෂණවලට අදාළව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිවු දෙනකු මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. කුඩා දරුවකු ඇකයේ හොවාගෙන පරුෂ වචන කියමින්, උසුළු විසුළු කරමින් එම සිඟිති දරුවාට ද බියර් පොවා ඉන් සතුටු වන වැඩිහිටියන් පිරිසකගේ දර්ශනයක් අදාළ රූප රාමුවේ විය. කෙසේ වෙතත් අදාළ වීඩියෝව සම්බන්ධයෙන් රූපවාහිනි නාළිකා ඔස්සේත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේත් ප්‍රවෘත්ති සැල වීමත් සමඟ ඒ සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ දැඩි අවධානයක් ද යොමු විය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මීගලෑව පොලිස් වසමට අයත් ගනන්ගමුව ග්‍රාම නිලධාරි වසමෙහි බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරුවන් සිවුදෙනා අතර දරුවාගේ පියා වන රෝහණ සරත්චන්ද්‍ර හෙවත් ගාමිණී (40), මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් (38) සුමේධ ප්‍රියරත්න හෙවත් ධනුෂ්ක (23) හා මොරගහමුල ගෙදර චන්ද්‍රසිරි හෙවත් බණ්ඩයියා (50) යන අය වූහ.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය ජූලි 18 වැනිදා ගල්ගමුව අධිකරණයට පළමු වරට ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවන් සිවුදෙනා පසුගිය අගෝස්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පසුව පසුගිය අගෝස්තු මස පළමුවැනිදා සැකකරුවන් ඇප මත නිදහස් කෙරුණු අතර මෙම නඩුව පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා නැවත කැඳවන ලෙසට අධිකරණය විසින් නියෝග කෙරිණි. ඒ අනුව එදිනට කැඳවූ නඩුව ඉහත කී වාර්තා නොමැති නිසා කල්දැමීමට අධිකරණය විසින් නියෝග කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත ගල්ගමුව සහකාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවීමෙන් මීගලෑව පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.පී.බී. විජේසූරිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon