මාලිංග කඩුලු 500 පසුකරයි

  👤  1625 readers have read this article !
Published by : MB WEB 2018-10-15 13:42:43

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි එක්දින තරගයේදී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ කඩුලු 500 සීමාව පසු කිරීමට සමත් වූ අතර එවැනි දස්කමක් සිදුකළ තෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා වශයෙන් ඔහු වාර්තා අතරට එක්විණි. ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරග 208කදී කඩුලු 311ක්, ටෙස්ට් තරග 30කදී කඩුලු 101ක් සහ විස්සයි - 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 68කදී කඩුලු 90 වශයෙන් ලසිත් මාලිංග බිඳහෙළා ඇති මුළු කඩුලු සංඛ්‍යාව 502කි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය ආරම්භ කරමින් පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංග එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දවා ගන්නා ලද්දේ එම තරගයේදී ඔහු ලබා ගත් පළමු කඩුල්ල ලෙසිනි. කෙසේ වෙතත් තරගයේ මුල් භාගයේදී පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 19ක් ලබා දී මාලිංගට දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

එංගලන්ත ඉනිමේ අවසන් භාගයේදී එනම් 39 වැනි පන්දුවාරයේදී නැවතත් පන්දුයැවීමේ අවස්ථාව මාලිංගට හිමි වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් පන්දුවාර 5ක් තුළ ලකුණු 14ක් පමණක් ලබාදී එංගලන්ත කඩුලු 4ක් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වීම කැපී පෙනුණි. එහිදී එංගලන්ත නායක ඉයන් මෝගන්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස් සහ ලියම් ඩෝසන් මාලිංගගේ ගොදුරු බවට පත් විය.

මේ අතර ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරගයකදී කඩුලු 5 බැගින් දවාගත් 8 වැනි අවස්ථාව වශයෙන් ද එය වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon