ත්‍රිරෝද රථ ගාස්තු අද සිට රු. 5කින් ඉහළට

  👤  1651 readers have read this article !
Published by : MB WEB 2018-10-15 13:00:31

උදයන්ති මුණසිංහ

මුදල් අමාත්‍යාංශය පසුගියදා (10දා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අද (15දා) සිට ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් පහකින් (රු. 5) ඉහළ දමන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා පැවැසුවේය.

ඒ අනුව ත්‍රිරෝද රථ ගාස්තු සඳහා පළමු කිලෝමීටරයට දැනට අය කරන රුපියල් හැටක (රු. 60) ගාස්තුව එලෙසම පවතින අතර, දෙවැනි කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් හතළිහක (රු. 40) ගාස්තුව රුපියල් පහකින් ඉහළ දමා රුපියල් 45 දක්වා වැඩි කර තිබේ.

එහිදී දෙවැනි කිලෝමීටරයේ සිට වැඩිවන සෑම කිලෝමීටරයකටම පෙර පැවැති රුපියල් හතළිහක ගාස්තුව වෙනුවට රුපියල් හතළිස් පහක් අද සිට අය කර ගන්නා බව ඔහු සඳහන් කළේය.

තම සමිතියේ විධායක සභාව පෙරේදා (13දා) රැස්වී මේ තීරණය ගත් අතර මෙලෙස ගාස්තු වැඩි කිරීමක් සිදු කළේ වසර දහයකට පසුව බවත් ඔහු 'මව්බිම'ට කියා සිටියේය.

මේ වන විට ත්‍රිරෝද රථ සඳහා යොදන එන්ජින් ඔයිල් 60%කින්ද, ත්‍රිරෝද රථ අමතර කොටස් 200%කින්ද ඉහළ ගොස් තිබෙන බවත්, මේ හේතුවෙන් ත්‍රිරෝද රථ වෘත්තිකයන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව යළිත් ඉදිරියේදී තෙල් මිල විශාල ලෙස වැඩි කිරීමක් කළහොත් ලංකාව පුරා සිටින තම සංගමයේ සාමාජිකයන් සියලුදෙනාම රැස්ව දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු අවධාරණය කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පසුගිය සිකුරාදා දින සිට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය විසින්ද ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් දහයකින් ඉහළ දමන ලදී.

ඒ අනුව මේ වන විට ත්‍රිරෝද රථ සංගම් දෙකක් ගාස්තු ඉහළ දැමීම සිදුකොට තිබේ.

මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් 'මව්බිම' කළ විමසීමකදී සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීමට තම සංගමය කටයුතු නොකරන බවත්, ඉදිරියේදී වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කොට නීත්‍යනුකූලව ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon