සයිබර් ප්‍රහාරයට ලක්වූ දත්ත ආරක්ෂා කිරීමට නොහැකියි - ෆේස්බුක්

  👤  1789 readers have read this article !
Published by : MB WEB 2018-10-15 12:46:07

මෑතකදී එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් සයිබර් ප්‍රහාරකයින් අතට පත්වූ ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් ආරක්ෂාවක් සැලසීමට හැකියාවක් නැතැයි ෆේස්බුක් සමාගම පවසා තිබේ.

එම සමාගම පසුගිය සිකුරාදා අනාවරණය කළේ, ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයින් අතට පත්ව ඇති බවය.

එම සොරා ගත් තොරතුරු අතර, සෙවුම් තොරතුරු (search history), ස්ථානීය දත්ත (location data), සබැඳියන් පිළිබඳ දත්ත (relationships), ආගමික තොරතුරු සහ තවත් තොරතුරු වේ.

මෙවැනි සයිබර් ප්‍රහාරයකදී වෙනත් ආයතන සිය සේවාදායකයින් ආරක්ෂා කිරීමට පියවර ගත්ත ද, ෆේස්බුක් සමාගම පවසන්නේ, සයිබර් ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් ආරක්ෂණ වැඩපිළිවෙළක් සැපයීමට සැලසුම් කර නොමැති බවය.

දත්ත විශ්ලේෂකයින් පවසන්නේ, ෆේස්බුක් සමාගමේ මෙම ප්‍රකාශය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවය.

"මෙම දත්ත සොරා ගැනීම හරහා සමාජ ජාල හරහා විවිධ වංචාසහගත වැඩසටහන් නිර්මාණය කිරීමට ප්‍රහාරකයින්ට පුළුවන්, දත්ත සොරා ගැනීමට ලක් වූවන් එහි ගොදුරක් විය හැකියි" Moor Insights and Strategy දත්ත විශ්ලේෂණ සමාගමේ විශ්ලේෂකයෙකු වන පැට්‍රික් මුවර්හෙඩ් බීබීසී පුවත් සේවයට පැවසීය.

ෆේස්බුක් සමාගම කර ඇත්තේ, ෆේස්බුක් භාවිත කරන්නන් දත්ත සොරා ගැනීමට ලක් වූවා ද යන්න දැන ගැනීම සඳහා මග පෙන්වීමක් කිරීම පමණි.

ෆේස්බුක් සමාගම පවසන පරිදි ෆේස්බුක් භාවිත කරන්නන්ට බලපෑ දරුණුතම සයිබර් ප්‍රහාරයේ ගොදුරක් බවට පත්ව සිටින මිලියන 14ක් වන විශාල පිරිසගේ සොරාගෙන ඇති දත්ත මෙසේය.

"username, ස්ක්‍රී පුරුෂ භාවය, රට සහ භාෂාව, සබැඳියන් පිළිබඳ විස්තර, ආගමික තොරතුරු, උපන් ප්‍රදේශය, පදිංචි ප්‍රදේශය, උපන් දිනය, ෆේස්බුක් වෙත පිවිසෙන උපාංගය (device), අධ්‍යාපන මට්ටම, රැකියාව, අවසන් වරට ගිය ස්ථාන 10, tag කිරීම්, follow කරන ෆේස්බුක් පිටු හා පුද්ගලයින් මෙන් ම අවසන් වරට කළ සෙවුම් 15 යන තොරතුරු සොරා ගැනීමට ලක්ව තිබේ"

මීට පෙර මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ Target, Playstation Network සහ Equifax වැනි සමාගම් දත්ත ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ෆේස්බුක් සමාගමේ ප්‍රකාශිකාවක බීබීසී පුවත් සේවයට පැවසුවේ, 'මෙම අවස්ථාවේ' එවැනි දත්ත ආරක්ෂණ වැඩපිළිවෙළක් කෙරෙහි යොමු නොවන බවය. ඒ වෙනුවට ෆේස්බුක් භාවිත කරන්නන් help section වෙත යොමු කරන බව ඇය පැවසීය.

"අපේ help section එක හරහා අපි කරන්නෙ සැකසහිත ඊ-මේල්, වෙනත් පණිවුඩ හෝ ඇමතුම්වලින් සිය දත්ත ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමයි" ෆේස්බුක් සමාගමේ ප්‍රකාශිකාව සඳහන් කළාය.

කෙසේ වෙතත්, මෑතකදී එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසුව ෆේස්බුක් උපකාර පිටු යාවත්කාලීන කර තිබේ ද යන්න පිළිබඳව ඇය අදහස් පළ කළේ නැත.

"කුඩා පරිමාණයේ සයිබර් ප්‍රහාරයන් අපි බැහැර කර නැහැ. අපි ඒ පිළිබඳව අඛණ්ඩව විමර්ශනය කරනවා" ෆේස්බුක් සමාගමේ නිෂ්පාදන කළමනාකරණ ප්‍රධානී ගයි රෝසන් බ්ලොග් පණිවුඩයක් මගින් පවසා තිබේ.

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදය සහ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධාන තාක්ෂණවේදී ජෝසෆ් ලොරෙන්සෝ පැවසුවේ, සොරාගෙන ඇති දත්ත සයිබර් ප්‍රහාරකයින්ට බෙහෙවින් වැදගත් වනු ඇති බවය.

"මේ සොරා ගැනුණු දත්ත හරහා වෙනත් ෆේස්බුක් ගිණුම්වලට ත් පිවිසීමට සයිබර් ප්‍රහාරකයින්ට හැකියාව පවතිනවා" ඔහු පැවසීය.

"මේ සොරාගෙන ඇති දත්ත පිළිබඳව අවධානය යොමු කළොත්, ඒවා මූල්‍යමය දත්ත නෙවෙයි. මේ දත්ත වෙනත් ව්‍යාජ ගිණුම් සැකසීමට යොදා ගත හැකියි"

ඔහු ප්‍රකාශ කළේ, අවම වශයෙන් password ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින මෘදුකාංගයක් හෝ නොමිලේ සිය සේවාදායකයින්ට ලබා දීමට ෆේස්බුක් සමාගම පියවර ගත යුතු බවය.

යුරෝපය තුළ සයිබර් ප්‍රහාරයකට ලක් වුවහොත් ෆේස්බුක් සමාගම ස්ටර්ලිං පවුම් බිලියන 1.25ක දඩයකට යටත් වනු ඇත. එය එම සමාගමේ වාර්ෂික ආදායමෙන් 4%ක ප්‍රතිශතයකි. පසුගිය මැයි මාසයේ සිට බලපැවැත්වෙන පොදු දත්ත ආරක්ෂණ නියාමනය (General Data Protection Regulation) ක්‍රියාත්මක වීමෙන් පසු වාර්තා වූ බරපතළ ම සයිබර් ප්‍රහාරය මෙය වේ.

මේ අතර, ට්විටර් පණිවුඩයක් මගින් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමිසම පවසා ඇත්තේ, "සිය සේවාදායකයින් මිලියන ගණනකගේ දත්ත සයිබර් ප්‍රහාරකයින් අතට පත්ව ඇති බවට සිකුරාදා ෆේස්බුක් සමාගම කළ තහවුරු කර තිබීම සුවිශේෂි සිද්ධියක්. ඒ සම්බන්ධයෙන් පොදු දත්ත ආරක්ෂණ නියාමනය යටතේ විමර්ශනයක් අඛණ්ඩව පවත්වනවා" යනුවෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon