දුක් සුසුම් මැද කාන්තා රග්බි ශූරතාව පදවිය හල්මිල්ලෑව විදුහලට

  👤  1655 readers have read this article !
Published by : MB WEB 2018-10-12 09:01:21

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය

ගාල්ල ඇලෝසියස් ක්‍රීඩාංගණයේ පැවැත්වූ වයස අවුරුදු 14න් පහළ කාන්තා - 2018 රග්බි තරගාවලියේ සමස්ත ලංකා ශූරතාව හිමිකර ගැනීමට පදවිය අලුත්හල්මිල්ලෑව විදුහල සමත් විය.


උතුරු මැද පළාතේ පාසලක් රග්බි ශූරතාව දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

කොළඹ, නුවර, ගාල්ල වැනි ජනප්‍රිය පාසල්වල ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ තරග කරමින් ඔවුන්ට කිසිදු ලකුණක් ලබා නොදී අපරාජිත කණ්ඩායමක් ලෙස මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ඇත.
තරගාවලිය අවසන් වන තුරු අතිරේක ක්‍රීඩිකාවක් නොගෙන තරගකාරියන් 7 දෙනාම ක්‍රීඩා කිරීමද විශේෂත්වයකි.

ජයග්‍රාහී ශූරතා කුසලානය දිනාගත් කණ්ඩායම ගාල්ල ඇලෝසියස් ක්‍රීඩාංගණයේ සිට අලුත්හල්මිල්ලෑව විදුහල දක්වා පැමිණි ඔවුන් පිළිගැනීම සඳහා මවුපියන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මඟ දෙපස පෙළ සැදී සිටියහ.

රග්බි ක්‍රීඩාවට තම පාසල් දරුවන් ආධුනික වුවද මෙවර ඔවුන් ප්‍රවීණ මට්ටමේ දස්කම් පෙන්වා ලැබූ ජයග්‍රහණය විදුහලටත් පොදුවේ රජරටටත් කීර්තියක් ගෙන දුන් බව විදුහල්පති අශෝක තිලක් වික්‍රමනායක මහතා පවසයි. මෙම ජයග්‍රහණයට ගුරු මණ්ඩලය සහ මවුපියන් දුන් සහයෝගය හෙතෙම අගය කළේය.

පාසලේ ක්‍රීඩා භාර ආචාරිනී ඩබ්ලිව්. එන්.සී. වත්තේගෙදර මහත්මිය,
මේ ජයග්‍රහණය පිටුපස දුක්බර සිදුවීම් රාශියක් තිබෙනවා. මේ දරුවෝ අඩු ආදායම්ලාභී මවුපියන්ගේ දරුවෝ. හරියට කුසට පෝෂ්‍යදායී ආහාර පවා නැතිව පුහුණුවීම් කරපු හැටි දැක්කාම ඇස්වලට කඳුළු එනවා.

හවස් වනතුරු පුහුණු වෙලා ගෙවල්වලට යන්න බයයි. හැම තැනම වල් අලි ඉන්නවා. කිලෝමීටර් 03ක් විතර දුර ගෙවල්වලට මේ දරුවෝ ඇරලවන්න අපි 'හුළුඅතු පත්තු කරගෙන' තමයි ගියේ.

මේ තරගයට යන්න මේ අයට බස් එකට සල්ලි තිබුණේ නෑ. ක්‍රීඩා කරන්න ඇඳුම් නෑ. සපත්තු නෑ. බොහොම අමාරුවෙන් ණය වෙලා රත්රන් බඩු උකස් කරලා මුදල් හොයා ගත්තෙ. අනෙක් ක්‍රීඩකයෝ කන බොන ශක්තිජනක ආහාර අපේ දරුවන්ට නෑ. මඤ්‍ෙඤාක්කා තම්බලා කාලා කුරහන් රොටි කාලා ලබා ගත්තු 'හයිය' තමයි මේ රත්රන් කොල්ලෝ මුළු රටටම පෙන්නුවේ. මේක දුෂ්කර ක්‍රියා කරලා ලැබූ ජයග්‍රහණයක්. ඒ නිසා අද අපේ ඇස්වලින් සතුටු කඳුළු වැගිරෙනවා.

රග්බි ක්‍රීඩා පුහුණුකරු බුද්ධික විතානආරච්චි මහතා,
කොළඹට කිරි ගමට කැකිරි කියන සංකල්පය ඔවුන්ගේ මනසින් තුරන් කරලා තුත්තිරි ගස් අල්ලාගෙන නැඟිටලා මහා රූස්ස ගස් බවට පරිවර්තනය වන හැටි මම දරුවන්ට කියලා දුන්නා. ඒ මානසිකත්වය මත ඔවුන් පුදුමාකාර කැප කිරීම් කරලා මේ ජයග්‍රහණය ලබාගත්තා. මේ දැරියන් වෙනුවෙන් කාට හරි පුළුවන් නම් ක්‍රීඩාවට අවශ්‍ය සපත්තු සහ ක්‍රීඩා ඇඳුම් පරිත්‍යාග කරන්න හෙට දවසේ අලුත්හල්මිල්ලෑව විදුහල ක්‍රීඩා අම්බරයේ දිලෙන තරු බවට මේ දරුවන් පත් වේවි.

රග්බි සමස්ත ලංකා ශූරතාව හිමිකරගත් කණ්ඩායම මල්මාලා දමා සිප වැලඳගෙන ඉතා උණුසුම්ව
පිළිගත් මවුපියන් ඇතුළු පිරිස ඔවුහු රථ පෙළපාළියක නංවාගෙන ප්‍රීතිඝෝෂා පවත්වමින් අලුත්හල්මිල්ලෑව විදුහල කරා රැගෙන ගියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon