බුද්ධංගල අභය භූමිය මස් වැද්දන්ගේ දඩබිමක් වෙයි

  👤  1662 readers have read this article !
Published by : MB WEB 2018-10-12 09:49:16

දිගාමඩුල්ල - හෂිනි සචින්තා ඉඳුවරී

නියං සමය අවසානය වෙමින් යාන්තමින් අම්පාරට වැහි පොද වැටෙන්නට ආරම්භව ඇත. වියළි පරඬැල් සේ තිබුණ වන පෙත් ළාදලු තණ පතින් පිරෙමින් තිබේ. වන සතුන්ට මෙය සුන්දර දසුනකි. නමුත් ඒ සුන්දරතාව යටින් ඔවුන් බිලිගන්නා සැහැසි ක්‍රියාවක් සිදුවෙමින් තිබේ.

බුද්ධංගල වන අරණේ මස් ජාවාරමක් ගැන ලැබුණු තොරතුරක් මත ඒ වනපෙත තුළට රිංගා ගියේ නිරතුරුව ඔබමොබ සැරිසරන අලි රාලහාමිලාගේ අඩන්තේට්ටම් පිළිබඳව සිතට නොගෙනය. ඒ මදු ගසා මුවන් ඇතුළු වන සතුන් අල්ලන මහා ජාවාරමක සුලමුල අනාවරණය කරන්නටය.

රජවැව කරංගාව ආසන්නයේ වනපෙත තුළ අපි හෝරා කිහිපයක් කරක් ගසන්නට වීමු. නමුත් දුටු දෙයින් අපි මහත් කනස්සල්ලට පත් වූයෙමු.

මස් කෑමට බඩජාරි වූ කුරිරු මිනිසුන්ගේ පහත් නොපනත්කම් නිසා මුළු වනපෙතම මස් වැද්දෝ ලේ විලක් කර ජාවාරමේ නිරත වෙති. අප වන පෙත තුළට ගිය විට දුටුවේ වන සතුන් අල්ලා ගැනීමට අටවා ඇති තොණ්ඩුය. තවත් තැනෙක මදුවලට හසුව මිය ගොස් මස් දියව ගොස් ඇටකටු පෑදී ඇති මුවකුගේ සිරුරකි. අං තට්ටුවක් සමඟ මතුව ඇති හිසෙහි තවමත් මරණය ගෙනා ආ මාරක කේබල් තොණ්ඩුව සවිව ඇත්තේය. ඒ ආකාරයෙන් මෙම වන පෙත පුරාම තොණ්ඩුවට හසුව මියගොස් මස් වැද්දන්ගේ ඇස නොගැසී කුණුව ගිය මුවන්ගේ සිරුරු රැසක් අපට දකින්නට ලැබුණේ අප සියලු දෙනාම දැඩි සංවේගයට පත් කරලමිනි.

අම්පාර නගරයේ ඇතැම් ආපනශාලාවන් සහ තානයම්පළවල්වල මුව මස් ඇතුළු අහිංසක වන සතුන්ගේ මාංසයන් රහසිගත ආකාරයෙන් සෑම මොහොතකම අලෙවි කරමින් සිටින්නේ මෙවැනි මස් වැද්දන්ට පින් සිදු වන්නටය.

මෙම වනපෙත පුරා අහිංසක වන සතුන් පා තබනා අඩි පහරවල කේබල් යොදා මදු සකසා අහිංසක මුව පොව්වන් ඇතුළු සතුන්ගේ ගෙල සිරකිරීම මෙම මස් ජාවාරමේ ප්‍රධාන උපක්‍රමයයි. ඒ ආසන්නයේ ඇති අනෙකුත් මාර්ග ලී කැබලි හෝ කොළ අතු යොදා අවහිර කරමින් තොණ්ඩුව ඇටවූ මාර්ගයේම වන සතුන් ගමන් කරවීමට මෙම මස් වැද්දෝ උපායශීලී වෙති.

මේ ආකාරයෙන් දිනපතාම වන සතුන් කිහිප දෙනකු නොමිනිසුන් විසින් ගසනා මද්දට හසුව මිය යති. ඒ ආකාරයෙන් මිය යන මුව පොව්වන් වන පෙත තුළම තියුණු මුවහත් පිහිතුඩුවලින් සිය ඝනකම් හම සිදුරුව ගොස් රතු පැහැති රුධිර ගංගාවන් සිරුරෙන් වෑස්සෙද්දී මස් පෙත්තෙන් පෙත්ත කැපී යයි.

කිලෝ ගණනින් කිරා ඒ මොහොතේදීම ෂොපින් මලුවලට දමා අම්පාරේ තානායම්පළවල ගැනුම්කරුවන්ට කිලෝවක් රුපියල් 500ක් වැනි මිලකට අලෙවි කරමින් අතමිට සරු කරගන්නට මෙම තිරිසන් ජාවාරම්කාරයෝ රුසියෝය.

අම්පාරේ වල් උෟරුමස් හෝ මුවමස් වැනි අහිංසක සත්ත්වයන්ගේ මාංසයන් සැමවිටම අලෙවි කරන තානායම්පළවල් සහ අලෙවිසල් රැසක් ඇත. එහිදී දඩමස් ග්‍රෑම් 200ක් යොදා හදන ඩෙවල් එකක් රුපියල් 400කට අලෙවි කරනු ලබයි. වේළන ලද දඩමස් සමඟින් ඩෙවල් එකක මිල රුපියල් 450කි. නමුත් කනගාටුම කරුණ නම් නීතිය රකින සමහර පොලිස් නිලධාරීන් පවා මෙවැනි ස්ථානවලට ගොස් කිසිදු හිරිකිතක් නොමැතිව දඩමස්වල රස බැලීමය.

කිසිදු වියදමකින් තොරව කේබල් යොදා සතුන් මරනා මස් වැද්දෝ අනවසර තුවක්කු භාවිත කරමින් වන සතුන් මරා දමමින්් බඳින තුවක්කු උපයෝගි කර ගනිමින් මෙම ජාවාරමෙහි රිසිසේ නියැළෙමින් සිටිති. වනපෙතේ චණ්ඩින් වන සැර පරුෂ කුළු හරක් පවා මදු ගසා අල්ලා ගෝන මස් ලෙසින් මසට අලෙවි කිරීම මෙම වනපෙතේ නිතැතින් සිදුවෙති.

කැලේ ඉන්න කුළු හරක් මදු ගහලා අල්ලාගෙන හීලෑ මී වැස්සියක් දාලා හිර කර ගන්න බලනවා. සතියක් විතර අල්ලගත්ත කුළු හරකාට කන්න දෙන්නේ නැතිව බැඳලා තියා ගන්නවා. පස්සේ මෙම සතා හොඳටම අඩපණ වුණාම හීලෑ මී වැස්සියෙක් සමඟ එකට ගැට ගසා සමන්තුරය ප්‍රදේශයට ඉතා හොර රහසේ යැවීමේ ජාවාරමක්ද ජාවාරමක්ද කලක සිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

දවසක් අලි පැටියෙක්ගේ හොඬවැලක් මන්දකට හසුවෙලා. එම අලි පැටියා මැරිලා තිබ්බා. අපිට නිතරම කැලේ රැකලා තනියෙන් ඉන්න බැහැ. නිතරම අලින් ඉන්නවා. මේ විදියට ගියොත් අනාගතේ පොඩි දරුවකුටවත් මුවෙක් දකින්න බැරිවෙයි. ඉස්සර මුවන් විස්ස විසි පහේ රංචු හිටියා. දැන් ඉන්නේ හතර පස් දෙනාගේ රංචු. කරංගාව රජවැව ආසන්න ප්‍රදේශයේ මේ ආකාරයෙන් මෙච්චර මදු ප්‍රමාණයක් ගහලා තියෙනවා නම් මුළු බුද්ධංගල කැලේම මදු කොච්චර ගහනවාද? ඕවාට හසුවෙලා කොච්චර නම් වන සතුන් මිය යනවා ඇත්ද? මේ ආකාරයෙන් වන සතුන් මරා දමන එක නවතා දමන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද මෙම වන පෙත ආසන්නයේ ජීවත්වන පරිසර හිතකාමියකු පවසා සිටින්නට විය.

මෙම වනපෙතේ මස් ජාවාරමටත් අමතරව වටිනා ගස් කොළන් කපා දමා අලෙවි කිරීමේ ජාවාරමද රහසිගතව සිදුවෙමින් තිබේ. අප සැරිසරුවේ කරංගාව රජවැව ආසන්නයේ වන පියසේ සුළු කොටසකය. නමුත් මුළු වන අරණේම සෝදිසි කළේ නම් අපට මදුවලට හසුව මිය ගිය මුවන් ඇතුළු වන සතුන් කොතෙක් නම් හමුවේද? කපා දැමූ ගස් නම් කීයක් හමුවේද?

වන සතුන්ට ඇටවූ කේබල් මදු කීයක් නම් හමුවේද? මේ ආකාරයෙන් මස් වැද්දෝ තමන්ට රිසිසේ අහිංසක වන සතුන් මරා දමද්දී අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම ඉතා කනගාටුවට කරුණකි. එම නිසා දැන්වත් බුද්ධංගල අභය භූමියේ අහිංසක වන සතුන්ට මස් වැද්දන්ගෙන් පීඩාවකින් තොරව ජීවත් වීමට සුදුසු වටපිටාවක් සකසන ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. එසේ නොවුණහොත් මසට ගිජු කෑදර තිරිසනුන්ගේ මෙවැනි තිරිසන් ක්‍රියා නිසා මතු පරපුරට අහිංසක මුව පොව්වන් ඇතුළු වන සතුන්
දැක ගැනීමට හැකි වන්නේ ඡායාරූපවලින් පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon