20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය අද සිට 14දා දක්වා නාලන්දා විදුහලේ අනුග්‍රහයෙන්

  👤  1633 readers have read this article !
Published by : MB WEB 2018-10-09 11:01:43

ගමිත දෙහිපිටිය

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ අධීක්ෂණය යටතේ කොළඹ නාලන්ද විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන 2018 අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ බේස්බෝල් තරගාවලිය අද සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව පාසල් කණ්ඩායම් 15කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය අද සවස 2.00ට දියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තවද එම සමාරම්භක උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ කාන්තා බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම් අතර ප්‍රදර්ශන බේස්බෝල් තරගයක්ද පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටයේ තරග හෙට (10දා) ආරම්භ වීමට නියමිත අතර අවසාන මහා තරගය 14 වැනිදා පස්වරු 2.00ට දියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ එක් ප්‍රධාන පියවරක් වශයෙන් මෙම තරගාවලිය සංවිධානය කෙරන බවත් ලබන වසරේ සිට සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා උළෙල සඳහාද බේස්බෝල් ක්‍රීඩාව ඇතුළත් කිරීමට අවශ්‍ය මූලික වැඩපිළිවෙල මේ වන විටත් සකස්කර අවසන් බවත් ඊයේ (2දා) කොළඹදී පැවැති මෙම තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවකදී අණාවරණය විය. තවද මෙම මාධ්‍ය හමුවට සමගාමීව අන්තර් පාසැල් වයස අවුරුදු 20න් පහළ බේස්බෝල් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය ශ්‍රී ලංකා පාසැල් බේස්බෝල් සංගමය වෙත පිරිනැමීමද සිදුවිය.

මේ අතර එම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ඒකනායක, ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ සභාපති සහ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න, කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් ජයසංඛ උයන්තැන්න, නාලන්ද විදාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපති බී. උතේෂ්, මෙම තරගාවලියේ සංවිධායක කමිටුව නියෝජනය කරමින් දිනේෂ් පෙරේරා සහ චානක රුක්ෂාන් යන මහත්වරු සහභාගි වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon