හැඩට නැති තැන හඩින් දිනූ ඇඩෙල්

  👤  1738 readers have read this article !
Published by : MB WEB 2018-10-09 12:17:28

ජීවිතය හරියට සප්ත ස්වරය වගේ. මන්ද්‍ර ස්වර, මධ්‍ය ස්වර, උච්ච ස්වර අතරේ දෝලනය වන පද රටා ඔස්සේ මනරම් ගීත නිර්මාණ බිහි වෙනවා. ජීවිතයේත් උස් පහත් වීම් මැද්දෙන් ලියැවෙන අත්දැකීම් ඔස්සේ ලස්සන කතා ලියැවෙනවා. සැප, දුක සමබර කරගෙන ජීවන පද මාලාව ලියූ ඇය බරසාර හ¾ඩින් ලොව පුර දෙසවන් පිනවූ ජනප්‍රිය ගායිකා අඩෙල්.

1988 වසරේ මැයි පස්වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ටොටැන්හැම් ප්‍රදේශයේදී අඩෙල් ලෝරි බ්ලූ ඇඩ්කින්ස් උපත ලබනවා. අඩෙල් බිහි වෙද්දී ඇයගේ මව පෙනී ඇඩ්කින්ස්ට වයස අවුරුදු 18යි. අඩෙල් ඉතා කුඩා කාලයේදී පියා පවුලෙන් වෙන්ව යන්නේ මවගේ රැකවරණය පමණක් අෑට ඉතිරි කරමින්. තරුණ මවක වුණු පෙනීට ආර්ථික වශයෙන් බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණත් තම දියණියගේ දියුණුවට දිවා රෑ නොබලා වෙහෙසුණේ අෑට ජීවිතය දිනන්න හැකි බව දැනුණු නිසායි.

අඩෙල්ට මවගෙන් නිතරම ලැබුණු ඔවදනක් තිබුණා. ඒ තමයි "එක දෙයකට ඇලෙන්න එපා, හැම දෙයක්ම ගවේෂණය කරන්න "කියන ඔවදන. ඒ නිසා අඩෙල් ගවේෂණශීලී දැරියක් විදිහට වැඩුණා. ඒ ගවේෂණය ඔස්සේ තමයි අඩෙල්ට තමන් පොතපතට වඩා සංගීතයට වඩාත් දක්ෂ බව අවබෝධ වන්නේ.

පාසල් කාලයේදීම අඩෙල් අත්හදා බැලීමක් විදිහට ගීත තුනක් නිර්මාණය කරලා ඒ දවස්වල ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වුණු Myspace එකට Upload කරනවා. මිතුරු මිතුරියන්ගෙන් ලැබෙන අනිවාර්ය ප්‍රශංසා ප්‍රතිචාර ඇරුණාම විශේෂ යමක් ඇයට පෙරළා ලැබෙන්නේ නෑ. අඩෙල්ටත් ඒ ගැන එහෙම්මම අමතක වෙලා යනවා.

අවුරුදු දෙකකට පස්සේ XL recordings ආයතන ප්‍රධානීන් විසින් Myspace අඩවිය පීරද්දී අහම්බෙන් මේ ගීත තුන ලැබෙනවා. යමක් කළ හැකි හඬක් කියන දේ තේරුම් යන XL ආයතනයේ ප්‍රධානීන් අඩෙල්ව සම්බන්ධ කරගෙන 2006 වසරේ නොවැම්බර් මාසයේදී ඇය සමඟ එක්ව ගීත නිෂ්පාදනය කරන්න එකඟතා ගිවිසුමකට එළැඹෙනවා.

අඩෙල්ගේ පළමුවැනි ගීත ඇල්බමය 19. ඇය ඇල්බමය පටිගත කරද්දී වයස තමයි නමට යොදන්නේ. විචාරක පැසසුම් රාශියක් ලැබෙන 19 ඇල්බමය ඔස්සේ බි්‍රතාන්‍ය අඩෙල්ට ඇමෙරිකාවට පය තියන්නත් අවස්ථාව ලැබෙනවා.

බරසාර ස්වරයකින් හද අමතන හඬ ගැන ලෝක අවධානය යොමු වෙන්නේ ඇගේ දෙවැනි ඇල්බමය 21 සමඟයි. අඩෙල්ගේ පෞද්ගලික අත්දැකීම් ඔස්සේ නිර්මාණය වුණු 21 ගීත ඇල්බමය 2011 සහ 2012 වසරවල ලෝකයේ වැඩියෙන්ම අලෙවි වුණු ගීත ඇල්බමය විදිහට අභිෂේක ලැබුවා. එහි අඩංගු Rolling in The Deep, Someone Like You සහ Set Fire to the Rain ගීත තමයි සංගීත ක්ෂේත්‍රයේ අඩෙල්ගේ ස්ථාවරත්වය සනිටුහන් කරන්න සමත් වුණු බල කණු තුන.

මිනිසුන්ගේ පෙනුමේ අඩුපාඩුවලට කවදාවත් හිනාවෙන්න එපා කියන ගුරුහරුකම අපට පොඩි කාලෙදී ලැබෙනවා. සමීප අය එක්ක හිතවත්කමට කොටා, බතලයා වගේ කතා කිව්වාට වෘත්තීයමය වශයෙන් ඒ ගැන සඳහනක් වෙන එක අනුමත කරන්න බෑ. ඇතැම් විදෙස් මාධ්‍යකරුවෝ අඩෙල්ව හඳුන්වා දෙන්නේ 'මහත ගායිකාව' කියලායි. ඇය තවමත් තරුණ වුණත් මහත වැඩි නිසා පෙනුම හරි වයස්ගතයි. ගැඹුරු කටහඬ නිසා තවත් වයසට ගිය ප්‍රතිරූපයක් දෙනවා කියන වැරැදි අදහස් දැක්වීම් විවිධාකාරයෙන් පළවෙන්න ගත්තා. නමුත් අඩෙල් ඒ සියල්ලටම පිළිතුරු දුන්නේ තමන්ගේ හැකියාවෙන්.

අඩෙල්ගේ මෙතෙක් ගත කළ සංගීත දිවියේ උච්චතම එළිදැක්වීම තමයි ඇයගේ තුන්වැනි ඇල්බමය 25. එය අතිසාර්ථක වුණේ රටවල් 110ක iTunes දර්ශකවල අංක එකේ රැඳෙමින්. සතියක් ඇතුළත බි්‍රතාන්‍යයේදී 25 පිටපත් මිලියනයක් සහ ඇමෙරිකාවේදී පිටපත් මිලියන 3.35ක් අලෙවි වූයේ ලෝක සංගීත වාර්තාද පිහිටුවමින්.
25 ඇල්බමයේ ප්‍රධාන ගීතය 'Hello' ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්නට වැඩි කලක් ගියේ නෑ.

නිකුත් වුණු කාලයේ සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකාවල වාදනය වුණු, හැම මුවගම රැඳුණු ගීතය වුණේ 'Hello' . එම ගීතය පමණක් අඩංගු කර තැනූ Single තැටි මිලියනයක් සතියක් ඇතුළත ඇමෙරිකාව පුරා වාර්තාගත ලෙස අලෙවි වුණේ, සප්ත ස්වරයට ජාති භේද අදාළ නෑ කියන සාධකය ඔප්පු කරමින්.

පියාගේ රැකවරණය නැතිව ඉතාම දුක්ඛිත ළමා කාලයක් සහ තරුණ කාලයක් ගත කරලා හැකියාවෙන් දියුණු වුණු අඩෙල් අද ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක වත්කමක්, ට්පචථථර සම්මාන 15ක්, Grammy සම්මානයක් ඇතුළු සම්මාන 136ක් සහ Guinnes ලෝක වාර්තා 11කට හිමිකම් කියනවා. හැඩට වඩා හඬට මුල් තැන දුන්නු අඩෙල් ලෝක ඉතිහාසයේ බිහිවුණු අතිසාර්ථක ගායිකාවක්. ජීවිතය ගවේෂණය කරන්න. ඔබ කවුද කියන දේ හඳුනාගන්න ලැබේවි.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon