එංගලන්ත පිල පුහුණු කිරීමේ උදව්වට ප්‍රසන්න ජයවර්ධනත් කතා කරගනී

  👤  1665 readers have read this article !
Published by : MB WEB 2018-10-05 14:42:14

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා සහභාගි වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රැකීමේ විශේෂ පුහුණු උපදේශකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නකු වූ ප්‍රසන්න ජයවර්ධන එක්වී ඇති බව මව්බිමට වාර්තා වේ.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම මස 10 වැනිදා සිට ආරම්භ වන එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොළඹදී පැවැත්වීමට නියමිත තරග සඳහා එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ට සහයෝගයක් දක්වන ලෙස එංගලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රසන්න ජයවර්ධන මෙම කටයුත්ත සඳහා එක්වී ඇති බවද දැනගන්නට ඇත.

තවද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමෙන් අනතුරුව ප්‍රසන්න ජයවර්ධන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව ඇති අතර එහිදී ඇතිවූ හිතවත් කම් මත එංගලන්ත පිල විසින් මෙම ඉල්ලීම කර ඇති බවද පැවැසෙයි. කෙසේ වෙතත් පසුගියදා එංගලන්ත කණ්ඩායම කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සහභාගි වූ පුහුණු සැසිය සඳහාද ප්‍රසන්න ජයවර්ධන එක්වී සිටිනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2000 වර්ෂයේදී ටෙස්ට් වරම් හිමි කරගත් ප්‍රසන්න ජයවර්ධන 2015 වර්ෂය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 58කට සහ එක්දින තරග 6කට සහභාගි වී ඇති අතර ටෙස්ට් ශතක 4ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් මුළු ලකුණු 2124ක් රැස් කරගෙන ඇත. තවද ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රකින්නකු ලෙස ස්ටම්ප් කිරීම් 32ක් සහ උඩපන්දු 124ක් ලබාගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon