මම සුපර් ස්ටාර් කෙනෙක් නෙවෙයි

  👤  2042 readers have read this article !
Published by : MB WEB 2018-10-01 16:15:07

චමීර දුෂ්ටයෙක් වෙලා..?

ඔව්නේ. මට දුෂ්ටයෙක් වෙන්න වුණානේ.

ඒ දුෂ්ටකම්වලට වැඩිපුර ගැරහුම් ලැබෙනවා කියලා තමයි ආරංචිය..?

හැමෝම බනින්නේ යාළුවට එහෙම කළේ ඇයි කියලා. ආදරය වෙනුවෙන්, ආදරය කරපු සංජානව ලබාගන්න තමයි දුෂ්ටයෙක් වුණේ. ඒ කරපු දුෂ්ටකම්වලට කට්ටිය බැන්නට දැන් යන කොටස්වලදි කට්ටියට මං ගැන දුකයි.

සැබෑ ජීවිතෙත් ආදරයක් ලබාගන්න චමීරට දුෂ්ටයෙක් වෙන්න වුණොත්...?

සැබෑ ජීවිතේදී මම දුෂ්ටයෙක් නෙවෙයි. ආදරය කරන කෙනා වෙනුවෙන් එයාව සතුටින් තියන්න මම උත්සාහ කරනවා. මම දේවල් ලබාගන්නවට වඩා එයාට දේවල් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ.

චමීර "වෙස්" මඟහරින්න හිටපු නාට්‍යයක් කියලා ආරංචියි..?

මෙහෙමයි. මම නාට්‍ය අතහරින්න හිටියේ. ඒ මගේ රැවුලේ ප්‍රශ්නයක් ආව නිසා. මම වෙන වැඩක හිටපු නිසා මට වෙස් නාට්‍යට සම්බන්ධ වෙන්න බැරි වෙයි කියලා හිතුවේ. ඒත් ඉන්දික ධර්මතිලක අයියා කිව්වා මේක කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා කරන වැඩක් කියලා. ඉතිං හැමදේම හොඳට වුණ නිසා "වෙස්" ටෙලි නාට්‍යයට මට සම්බන්ධ වෙන්න ලැබුණා.

"වෙස්" චමීරගේ රංගන ජීවිතේ හොඳ හැරවුමක්ද..?

ඔව්. "වෙස්" මට හොඳ හැරවුමක්. ඒ වගේම ළඟදීම මගේ ජීවිතේ තවත් හැරවුමක් ප්‍රේක්ෂකයෝ අතරට එනවා. ඒ නිර්මාණයටත් ප්‍රේක්ෂකයෝ ආදරය කරයි.

"වෙස්" නිසා චමීර හාත්පසින්ම වෙනස් චරිතයක් විදියට දකින්න ලැබෙන්නේ..?

ඔව්. සමීර අයියට තමයි ඒකට ස්තූති කරන්න ඕන. අවුරුදු 29 මාව අවුරුදු හතළිහේ පෙනුමට ගෙනාවේ ඔහු.

"වෙස්" නිසා සාරංග, චමීර සහ හර්ෂ අතර කැපී පෙනීමේ තරගයක් නිර්මාණය වෙලාද..?

නැහැ. අපි අපේ ජනප්‍රියත්වයෙන් හයිලයිට් වෙන්න උත්සාහ කරලා නැහැ. අපි හිතන්නේ නැතුව හයිලයිට් වෙනවද දන්නේ නැහැ. ඒත් හිතලා නම් තව කෙනෙක්ව අභිභවා යන්න අපි උත්සාහ කරලා නැහැ. අපිට ඉතිං ජනප්‍රියත්වය බලෙන් ගන්න බෑනේ. අපි ඉබේම කාගේ හරි හිතට වැදුණොත් ඒ අයට කවදාවත් අපිව අමතක වෙන්නේ නෑ.

චමීර පුංචි තීරයේ දුෂ්ටයෙක් වෙන්න ආසද..?

ඒකත් වෙනස් ඇත්දැකීමක්. මම "වෙස්" නාට්‍යයේ වගේ චරිතයක් මීට කලින් කරලා නෑ. ධනුෂ්ක අයියාගෙන් ලැබුණ සහයෝගයත් එක්ක තමයි මේ චරිතය කළේ. මේ චරිතයට කවුරු හරි බනිනවා නම් ඒ මම ඒ චරිතය හරියට කළ නිසා.

චමීර වැඩ ගොඩක පේන්න නෑ. ඒ චමීරට තාම ඉල්ලුම අඩු නිසාද..?

මට නිර්මාණවලට කතා කරනවා. හැබැයි ඒ කතා කරන හැම නාට්‍යකටම මම යන්නේ නෑ. මට ආරාධනා කරන චරිතය බලලා මට පුළුවන් හොඳ වැඩක් නම් මම ඒකට සම්බන්ධ වෙනවා.

එහෙම වැඩ තෝරන්න තරම් චමීර පොහොසතෙක්ද..?

මම ගෙදර පොඩි පුතා. මට මගේ අම්මා කන්න බොන්න දෙනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නෑ ජීවත් වෙන්න. ෂේප් එකේ ගේම ගහගෙන යනවා. තමන්ගේ වටිනාකම තේරුම් ගත්තම හැම එකේම එල්ලෙන්න ඕනේ නෑ. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු අටක්, නවයක් වෙනවා. කොළඹ අහස නාට්‍ය වෙනුවෙන් මම නැඟී එන නළුවා ලෙසත් නිර්දේශ වුණා. මම කළ චරිත ආදරයටත් පාත්‍ර වුණා. ඉතිං හිමින් මගේ ගමන යනවා.

ඒ කියන්නේ අතමිට සරු කරගන්න හිතාගෙන චමීර වැඩ භාරගන්නේ නැද්ද..?

නැහැ. මම කරන වැඩේට සාධාරණයක් කරන්න උත්සාහ කරන්නේ. අතට මුදල් එන නිසා මම වැඩ කරන්නේ නැහැ. හොඳ වැඩක් නම් සල්ලි නැතුව හරි වැඩ කරන්න සූදානම් කෙනෙක් මම.

චමීර සම්මාන ගන්නත් ආසාවෙන් ඇත්තේ..?

සම්මාන ගන්නත් කොටස් අඩු ප්‍රමාණයේ නාට්‍ය ඕන. ඉතිං ඒ වගේ හොඳ වැඩ ලැබෙනකල් බලාගෙන ඉන්නවා.

ජනප්‍රිය සම්මානය ගන්න ආසාවක් නැද්ද..?

ඒකට මම ඒ තරම් ආස නැහැ. ඉර්ඉ ගහලා සහ වෙන වෙන කැම්පේන් කරලත් ඒ සම්මානය ගන්න පුළුවන්නේ. මම වියදම් කරගෙන නම් කවදාවත් මම සම්මානයක් ගන්නේ නෑ. තමන්ම වියදම් කරගෙන සම්මාන අරගෙන මොකටද..?

පුංචි තිරයේ පෙම්වතා, දුෂ්ටයා කවද්ද සිනමාවට පනින්නේ..?

ඒක තමයි මගේ ඉලක්කය. මම පුංචි තිරයෙන් අඩිතාලම දාගෙන යන්න හීන දකින්නේ සිනමාවට. කවදා හරි ඒ අවස්ථාව එයි කියලා හිතනවා. මම ලොකු ලොකු සැලසුම් හදාගෙන ජීවත්වෙන්නේ නැහැ. මොකද අපි හිතන දේවල් වෙන්නේ නෑනේ. හිතන් නැති වෙලාවට තමයි අපිට ඕන දේවල් ලැබෙන්නේ.

හිතාගෙන ඉඳලා චමීරට නොලැබුණ දේවල් තියෙනවද..?

අපෝ ඔව්. සමහර නාට්‍ය ලැබෙනවා කියලා කිව්වම අපි ඒවට මහන්සි වෙනවා. ඒත් අන්තිමේ ඒ වැඩ ලැබෙන්නේ නෑ. හැබැයි නොහිතපු විදියට දේවල් ලැබෙනවා. නොහිතපු දේවල් තමයි වාසනාවට වගේ පත්තු වෙන්නේ.

චමීරට තරුණියන්ගේ ආකර්ෂණය වැඩියි කියන්නේ ඇත්තද..?

ආකර්ෂණය තියෙනවා. හැබැයි මම සුපර් ස්ටාර් කෙනෙක් නෙවෙයි. එහෙම දවසක් මම නිර්මාණය කරනවා.

චමීර පෞද්ගලික ජීවිතේදී නළුකම ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක්ද..?

අනේ නැහැ. මම මහා ලොකු ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතයෙදි මම බාටා දෙකක් දාගෙන කොණ්ඩෙත් පීරන්නේ නැතුව ඔහේ යන කොල්ලෙක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - ධනුෂ්ක රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon