ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව සනත් ගුණතිලක ගැන පොතක්

  👤  1316 readers have read this article !
Published by : MB WEB 2018-09-29 08:23:20

ඔබේ කෘතියක් පාඨකයන් අතරට ගෙනත්. ඒ ගැන මුලින්ම කියමු?

මගේ 'ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව' කෘතිය එළිදැක්වූයේ මේ මාසේ 21 වැනිදා. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මෙය මිලදී ගන්නත් දැන් හැකියාව තියෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපති උපාධිය සම්පූර්ණ කරන්න තමයි මම මේ පොත ඉදිරිපත් කළේ. එහි මාතෘකාව වුණේ ලාංකික සිනමාව, කලාව සහ දේශපාලන ලෝකය තුළ සනත් ගුණතිලකගේ සන්නිවේදන භුමිකාව. ඒ මාතෘකාව අනුව ඉදිරිපත් කළ ග්‍රන්ථය ඇසුරෙන් තමයි 'ලාංකේය මහා' නළු පරපුරේ අවසන් සුපිරි තරුව' ග්‍රන්ථයක් ලෙස එළිදකින්නේ. මෙය වසර දෙකක්, තුනක් පුරා කරපු පර්යේෂණයක්.

මෙහි අන්තර්ගතය සකස් වී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද?

වැඩිපුරම මෙහි තිබෙන්නේ ශාස්ත්‍රීය පැත්ත විතරයි. සනත් ගුණතිලක සිනමාවට පිවිසි දා සිට සැමීගේ කතාව දක්වා ඔහු රඟපෑ චිත්‍රපට නාම ලේඛනය, දුර්ලභ ගණයේ ඡායාරූප මෙහි තිබෙනවා. මම අධ්‍යයනයට යොදා ගත් කාල සීමාව තුළ චිත්‍රපට 122ක් තිබෙනවා. ඔහු විවිධ ගණයේ චිත්‍රපටවල රඟපෑ රංගන ශිල්පියෙක්. සමාන්තර සිනමාවේ, කලාත්මක සිනමාවේ සහ වාණිජ සිනමාව කියන ත්‍රිත්වයේම තෝරාගත් චිත්‍රපටවල සනත් ගුණතිලක රඟපෑ රංග භූමිකා අධ්‍යයනයක් තමයි මේ කෘතියේ අන්තර්ගත වෙලා තිබෙන්නේ. දේශපාලන භුමිකාවේ ඔහුගේ සන්නිවේදන භුමිකාව කොයි වගේද කියන එක පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයකුත් ගැබ් වෙනවා.

ඔබේ අධ්‍යයන නිබන්ධනය සනත් ගුණතිලකගේ චරිතය පාදක කරගෙන ගොඩනඟන්න විශේෂ කාරණාවක් තිබුණද?

මම මගේ අධ්‍යයන මාතෘකාව ඉදිරිපත් කරද්දි, අපේ රටේ බොහෝ නළු නිළියෝ ගැන විශ්වවිද්‍යාලයට නිබන්ධන ඉදිරිපත් කර තිබුණා. හැබැයි ඒ වෙනකොට සනත් ගුණතිලක පිළිබඳව අධ්‍යයන නිබන්ධනයක් කර තිබුණේ නෑ. ඒ වගේම මම අවුරුදු විස්සකට අධික කාලයක් සිනමා පුවත්පත්වල වැඩ කරන කෙනෙක් හැටියට සමස්ත සිනමාවේ නළු නිළියෝ ගැන අධ්‍යයනය කරද්දි මට තේරුණා සනත් ගුණතිලක තමයි අපේ සිනමාවේ මහා නළු පරපුරෙත් සුපිරි තරු පරපුරේ අවසන් පුද්ගලයා. මොහුට පසුව බිහිවුණු සුපිරි තරු ඉන්නවා. හැබැයි ඔවුන් මහා නළු පරපුරට අයිති නහැ. ඒ පදනම මත මොහු ගැන අධ්‍යයන නිබන්ධනයක් කරන්න හිතුණා.

ඔහුගේ රංගන භුමිකාවේ පරාසයන් මේ අධ්‍යයනයට හේතුවක් වෙන්න ඇති.

ඔහු කළ රංගනයන් බලද්දි විශේෂයෙන්ම විරාගය වගේ චිත්‍රපටයක අරවින්දගේ චරිතය සිනමාව ගැන ඉගෙන ගන්න කෙනකුට වුණත් අධ්‍යයනය කරන්න සුදුසු රංගනයක් තිබෙන චරිතයක්. සිසිල ගිනි ගනී, රාජ්‍ය සේවය පිණිසයි වගේ නිර්මාණත් එහෙමයි. අනෙක් පසින් වාණිජ සිනමාවේ අතිශයෙන්ම ජනප්‍රිය ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ගණනාවකට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහුගේ රංගනය ලාංකේය සිනමාවට ආදරය කරන අය අධ්‍යයනය කළ යුතුයි කියලා මම විශ්වාස කළා.

සනත් ගුණතිලක සම්බන්ධ තොරතුරු එක්රැස් කරගත් ප්‍රධාන මූලාශ්‍රයන් මොනවාද?

තොරතුරු එක්රැස් කරගැනීමේදී ප්‍රධානම මගේ මූලාශ්‍රය වුණේ සනත් ගුණතිලක සමඟ පවත්වපු දීර්ඝ සම්මුඛ සාකච්ඡා. ඊට අමතරව ඔහු රඟපෑ මම තෝරාගත් චිත්‍රපට අතරින් බහුතරයක් චිත්‍රපට මම නැරඹුවා. චිත්‍රපට කිහිපයක් පමණයි, සොයා ගැනීමට අපහසු නිසා නරඹන්න බැරි වුණේ. ඔහු පිළිබඳ ලියවුණු ලිපි ලේඛන පවා පරිශීලනය කළා. ඒ ඇසුරින් තමයි මේ කෘතිය මම ලිව්වේ. සනත් ගුණතිලක පිළිබඳව එක තැනක විශාල කරුණු ප්‍රමාණයක් ලියවුණු තැන තමයි මේ කෘතිය.

ඔබේ අධ්‍යයන නිබන්ධනය කෘතියක් දක්වා දුර ගෙනෙද්දී සනත් ගුණතිලකගෙන් ලොකු සහායක් ලැබෙන්නත් ඇති?

මෙය කෘතියක් දක්වා දුර ගෙන ඒමේ සම්පූර්ණ වගකීම දැරුවේ ඔහු. මම මෙය ලිව්වේ. මට මේ නිබන්ධනය නිසා උපාධිය ලැබුණා. නමුත් ඒ සියලු දේ පසුපස හිටපු සෙවණැල්ල තමයි සනත් ගුණතිලක. මෙය ප්‍රකාශනය කළේ ඉමාෂි පබ්ලිකේෂන්. ප්‍රකාශකයෙක් හොයලා දීමේදී පවා ඔහු ගොඩක් උනන්දු වුණා.

ඔබට ලේඛන කාර්යය නුහුරු නුපුරුදු නෑනේ. ඒත් මෙය ඔබේ පළමු කෘතිය. පුවත්පත් කලා ලේඛනය සහ කෘතියක් තුළ භාෂාව හැසිරවීමේදී ඔබට වෙනස් වෙන්න සිදු වෙන්න ඇති?

පර්යේෂණ ග්‍රන්ථයක් ලියද්දී මට පළමුවැනියටම ආපු අභියෝගය තමයි භාෂාව. සාමාන්‍යයෙන් ඒවාට අපි පාවිච්චි කරන පුවත්පත් භාෂාව පාවිච්චි කරන්නේ නැහැ. පුවත්පත් භාෂාවෙන් මිදිලා පර්යේෂණ ග්‍රන්ථය ලියන්න මට සෑහෙන කාලයක් ගියා. මම අවුරුදු විස්සක් තිස්සේ පුරුදු වෙලා හිටියේ පත්තර භාෂාවට. බොහොම අමාරු වුණා එයින් මිදිලා ග්‍රන්ථය ලියන්න. එයට විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕන මට උපදේශනය සපයපු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති අරුණ ලොකුලියන මහත්මයාට. මගේ භාෂා ශෛලිය හදන්න ඔහු ගොඩක් මහන්සි වුණා.

ලේඛනයේදී ඔබ වැඩි නැඹුරුවක් දක්වන ශෛලියක් තියෙනවද?

මගේ ශෛලිය තමයි පාඨකයාට තේරෙන භාෂාව. අපභ්‍රංස ලියන්න මම දන්නේ නැහැ. මම බොහොම සරලව මිනිසුන්ට තේරෙන්න දේවල් ලියනවා.

මෙතැන් සිට ඔබ ලේඛන කාර්යභාරයේ තවත් පියවරක් ඉදිරියට තියයිද?

සමහරවිට. මේ කෘතිය මම ලොකු සැලසුම් තියාගෙන කළ එකක් නෙවෙයි. මම මේ ලේඛන කලාවටත් අහම්බයෙන් ආපු කෙනෙක්නේ. නැත්නම් මට පත්තරකාරියක් වෙන්න වුවමනාවක් තිබ්බේ නෑ.

එහෙනම් ඔබ පත්තරකාරියක් වුණේ කොහොමද?

කැලණිය විශ්වවිද්‍යාලයට ඇවිත් ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය කරද්දී වුණත් මම කැම්පස් එකේ ඔහේ රස්තියාදු වේවී හිටියේ. එහෙම ඉන්නකොට මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස සර් මට අඬ ගහලා කිව්වා 'ජනසන්නිවේදනය කරනවා නම් ඔහොම බංකු උඩ ඉඳලා හරියන්නේ නැහැ කියලා, ලේක්හවුස් එකේ ට්‍රේනින් යන්න ලෑස්ති වෙන්න' කියලා ඔහු තමයි මාව ලේක්හවුස් එකට යැව්වේ. මම ඉස්සෙල්ලාම සරසවි පත්තරයට ගියේ. තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයාගෙන් තමයි මම පත්තර රස්සාව හරියට ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගත්ත දේවල් එක්ක මම ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කර්තෘවරියක් දක්වා ආවා.

තව ජීවිතේ හැබෑ කරගන්න කඩඉම් ඇතිද?

විශේෂ දේවල් නැහැ. මම පත්තර කලාවේ මට යන්න ඕන තැනට ආවා. මගේ පෞද්ගලික ජීවිතෙත් අවශ්‍ය සාර්ථකත්වයට මම ඇවිත් ඉන්නවා. මම මහා ලොකු හීනවල ඉන්න ගැහැනියක් නෙවෙයි. එදිනෙදා ජීවත්වෙලා පාරේ පයින් රස්තියාදු වෙන ගැහැනියක් මම.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon