මනුගේ ජීවිතේ නිවන්න කෙනෙක්

  👤  2272 readers have read this article !
Published by : MB WEB 2018-09-25 10:01:32

මනුරංගත් එකලාසයක් වුණානේ...?

ඔව්. මම විශ්වාස කරනවා එක්තරා වයසකදි මේ බැඳීම ඇති කරගත යුතුයි කියලා. ඉතිං ඒ තත්ත්වයට මමත් අවනත වුණා. මමත් විවාහ වුණා. දැන් ඉතිං ටිකක් නිවුණා නම් හොඳයි කියලා හිතුණා.

ඒ කියන්නේ ජීවිතේ නිවෙන්නද විවාහයක් කරගත්තේ..?

මේ ජීවිතේ සමහර තැන්වලදී හරිම මහන්සියි. තරුණ ජීවිතේ තියෙන නිදහස එක්ක කාල කළමනාකරණය, මුදල් කළමනාකරණය කරගන්න දේවල් අතහැරලනේ ජීවිතේ ගත කළේ. දැන් ජීවිතේ හික්මිය යුතුයි. ඒකට සුදුසුම කෙනා ලැබිලා තියෙනවා.

මනුරංගගේ ජීවිතේ නිවන්න, හික්මීමක් ඇති කරන්න එකතු වුණු කෙනා කවුද කියලා දැන් කියමු නේද..?

එයා දිල්තරා ශලිනි ජයලත්. එයා කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා චිත්‍ර ශිල්පිනියක් විදියට. එයාට ව්‍යාපාර පසුබිමකුත් තියෙනවා.

කොහොමද ඇයව මනුරංගට මුණගැහුණේ..?

මම එයාගේ චිත්‍රවල රසිකයෙක්. ඩුඩ්ල් ආට් තමයි එයා කරන්නේ. ඊට පස්සේ මට ඇයව අහඹු ලෙස හමුවුණා. ඒ හමුවීම තමයි විවාහය දක්වාම දුර ගෙනාවේ. අපිට ජීවිතේ මුණගැහෙන අය සංසාරික පුරුද්දක් විදියට මුණගැහෙන්නේ. දිල්තරාත් එහෙම වෙන්න ඇති.

දිල්තරාව මේ තරම් දුර ගේන්නත් ඇයගේ විශේෂත්වයක් තියෙන්න ඇති..?

ඔව් මම වෙනස් චරිතවලට කැමැතියි. සාම්ප්‍රදායිකම දේවල්වලට මම කැමැති නැහැ. මම එයාගේ තිබ්බ වෙනස්කමට කැමැති වුණා.

මොකක්ද ඒ වෙනස්කම්..?

එයා බොහොම සරලයි. මම ගැහැනියකගේ පෞරුෂත්වයට කැමැති කෙනෙක්. ස්වාධීන නැතුව ඒ අය ජීවත් වෙනවාට මම කැමැති නැහැ. බොහෝ දෙනෙක් කැමැතියිනේ තමන්ගෙම යටතේ ඉන්න කෙනකුට. නමුත් දිල්තරාගේ පෞරුෂත්වයට ඒ රැඩිකල් ගතියට මම කැමැතියි.

මනුරංගගෙයි දිල්තරාගෙයි ආදර කතාව කොච්චර කාලයක් තිබ්බ ආදර කතාවක්ද..?

අපේ ආදර කතාවට අවුරුදු හතරක් වෙනවා.

ඔය ආදර කතාවට බාධා ආවෙම නැද්ද..?

එහෙම ලොකු බාධා ආවේ නැහැ. මගේ වෘත්තීය පසුබිම එක්ක මට එයාලගේ ගෙදරින් කැමැති වෙයිද වගේ බොරු බාධා අපි හිතින් මවාගෙන හිටියා. ඒත් කොල්ලා හොඳ නිසා කිසි බාධාවක් ආවේ නැහැ.

විවාහ උත්සවය ගන්න ගිහින් කී දෙනෙක් තරහ කරගත්තද..?

මෙහෙමනේ, වෙඩින් එකක් ගන්නවට වඩා අමාරු ඒකට කාටද එන්න කියන්නේ කියලා තීරණය කරන එක. පන්සියයකට එන්න කියලා එක්දහස් පන්සියයක් තරහා කරගන්නවා වගේ වැඩක් මේක. මම ගොඩක් දෙනකුට ආරාධනා කළා. කවුරු හරි මඟහැරුණා නම් ඉතිං සමාවෙන්න ඕන.

විවාහ මංගල්‍ය දවසෙදි හැමදාම වගේ මනුරංගව දකින්න ලැබුණේ වෙනස් විදියකට..?

ඔව්. මම ටිකක් අමුතු දේවල් කරන කෙනෙක්නේ. මැගසින් එකක කවර් එකකින් තමයි මම ඒ ඇඳුම දැක්කේ. ඉතිං මට ඒ විදියේ ඇඳුමක් ඕනේ කිව්වම අභිෂේක මණ්ඩපය මට ඒ ඇඳුම හදලා දුන්නා.

මනුරංග වෙනස් වෙන්න බය නෑ නේද..?

මම වෙනස් වෙන්න බය නෑ. මගේ ආරම්භය රම්බරිනේ. රම්බරිගෙන් සමාජගත වෙච්ච මට එතැනින් එහාට වෙන්න දෙයක් නෑ.

මනුරංග කියන්නේ වගකීම් සහගත කෙනෙක්ද..?

මම ලොකුවට වගකීම් සහගතව ජීවත් වුණු කෙනෙක් නෙවෙයි. හැබැයි දැන් ඒ දේවල් හදාගන්න ඕන. මඟහැරුණු දේවල් හදාගන්න දැන් කාලය හරි.

දිල්තරා මනුරංගගේ වැඩවලටත් දායකත්වය දෙනවාද..?

එයා මට දෙන ලොකුම දායකත්වය තමයි මගේ අපිළිවෙළ පිළිවෙළ කිරීම. මම බොහෝ දේවල් වැඩිය ගණන් ගන්නේ නැති කෙනෙක්. මම මනෝ ලෝකෙකනේ ඉන්නේ. ඒ නිසා මගේ පිළිවෙළ අඩුයි. සමහර වෙලාවට මම සිංදු ලිව්වම ඒකේ කොළයක්වත් තියා ගන්නේ නෑ. හැබැයි දිල්තරා ඒ දේවල් ෆයිල් කරලා පිළිවෙළට හදලා තියෙනවා.

මනුරංගගේ කාර්ය බහුලත්වයට දිල්තරා කැමැතිද..?

මම කාර්යබහුල වුණත් එයා හැමදේම කළමනාකරණය කරලා දෙනවා. මගෙන් අඩුපාඩුවක් වුණත් එයා හදලා දෙනවා.

දිල්තරා ගෘහණියක් නොවී වෘත්තීයමය පසුබිමක ඉන්නවාට මනුරංග කැමැතිද..?

එයා රැකියාවක් කළත් එයා රැකියාවක් නොකර ගෙදර හිටියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

දෙන්නට දෙන්නා ජීවිතවලට තහංචි
දාගෙන නැද්ද..?

තහංචි දාගෙන නැහැ. මොනවා වුණත් බාහිර සහ තිබෙන අභ්‍යන්තර පරිසරය තුළ ජීවිතවල ඕන තරම් ගැටලු මතුවෙනවා. අපි සිහින ලෝකවල නැහැ. පොදු මනුෂ්‍යයකුට ඇතිවන ගැටුම් මතවාද අපේ ජීවිතවලත් ඇතිවෙනවා. ඒවා හඳුනගෙන ඒවා නිරාකරණය කරගෙන ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නේ.

දිල්තරා ඔබව පාලනය කළොත්..?

පවුල් ජීවිතයක් ගත කරද්දී සමහර දේවල් පාලනය විය යුතුයි. එහෙම නැතුව බෑ. පාලනයක් ඇති කිරීම වරදක් නරකක් විදියට මම දකින්නේ නැහැ. හැබැයි තේරුම් කරලා දෙන විදියකුත් තියෙනවා. හරි විදියට තේරුම් කරලා දුන්නොත් ඒක ඕන කෙනෙක් තේරුම් ගන්නවා.

මනුරංගයි දිල්තරයි අලුත් නිවහනක් හදනවා කියලත් ආරංචියි..?

ඔව්, නිවෙසක් ඉදිකරගෙන යනවා. තව මාස දෙක තුනක වැඩ තියෙනවා. එතකල් අපි ඉන්නේ අපේ අම්මා තාත්තගේ ගෙවල්වල.

මනුරංගගේ අලුත් වැඩ ගැනත් කියමු...?

ආදරයේ වෙඩිල්ල කියලා සිරස එෆ්.එම්. එකේ මම ලියපු නාට්‍යයක් පටන් ගත්තා. තුමිඳු, හිමාලි, සරත් කරුණාරත්න තමයි ඒකේ හඬ කැවීම්වලට එකතු වෙන්නේ. චාමර වීරසිංහ තමයි එහි තේමා ගීතය ගායනා කරන්නේ. සංගීතය අශාන් ප්‍රනාන්දුගේ. ඒක භාරගත්තට පස්සේ තමයි බැරෑරුම්කම තේරුණේ. ඊට අමතරව සුළං කුරුල්ලෝ වැඩසටහනත් කරගෙන යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon