වරාහේන වොලිබෝල් ක්‍රීඩා සමාජ කණ්ඩායම පැරදවූ බෙන්තොට සාගර ක්‍රීඩා සමාජය 'පේසුරු කුසලාන' හිමිකර ගනී

  👤  1269 readers have read this article !
Published by : MB WEB 2018-09-24 08:44:53

බෙන්තොට - ඇම්. මීගහපළ

'බෙන්තොට එකමුතුව' සංවිධානය කරන ලද 'පේසුරු කුසලාන' 2018 වොලිබෝල් තරගාවලිය පසුගියදා බෙන්තොට ජාතික නිවාඩු නිකේතන වෙරළ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. බෙන්තොට ප්‍රදේශයේ වොලිබෝල් කණ්ඩායම් 16ක් සහභාගි වූ මෙම තරගාවලිය පවත්වන ලද්දේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. බෙන්තොට ක්‍රීඩා නිලධාරි සුරේෂ් මහතාගේ උපදෙස් මත මෙහි සියලුම තරග පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්විණි. විදුලි ආලෝක මධ්‍යයේ පැවැති අවසන් මහ තරගයේදී බෙන්තොට වරාහේන ක්‍රීඩා සමාජ කණ්ඩායම තරග වට 2 - 1ක් ලෙස පැරදවූ බෙන්තොට සාගර ක්‍රීඩා සමාජ කණ්ඩායමට පේසුරු කුසලාන හිමිවිය.

මෙම තරගාවලියේ ත්‍යාග හා ජය සංකේත පිරිනැමීමේ අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රි ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපති කසුන් රුවන්පුර සිල්වා, බෙන්තොට ප්‍රා. ලේකම් කාර්යාලයේ ග්‍රාමසේවා පරිපාලන නිලධාරි ඇම්. වසන්ත ලාල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. සහභාගි වූ සියලුම කණ්ඩායම් වෙත රුපියල් 3,500ක් වටිනාකමකින් යුත් වොලිබෝලයක් සමඟ දැලක් පිරිනැමුණු අතර හොඳම ක්‍රීඩකයා ඇතුළු දක්ෂතම ක්‍රීඩකයන් පස්දෙනකුට මුදලින් ත්‍යාග හිමි විය.

බෙන්තොට ප්‍රදේශයේ බිඳ වැටෙමින් පවතින වොලිබෝල් ක්‍රීඩාව ගොඩනැංවීම සඳහා යම් ආකාරයක උත්සාහයක් ගත් මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබාදුන් සියලුම දෙනාට ස්තුතිය පුද කරන්නේ යැයි බෙන්තොට එකමුතුවේ සභාපති තිලක් සුචරිතරත්න, ප්‍රධාන ලේකම් අජිත් අමරවීර හා ප්‍රධාන සංවිධායක ධම්මික අල්විස් මහත්වරු පැවැසූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon