රටට බත දුන් මහවිලච්චියේ ගොවියෝ අද හාමතේ

  👤  1217 readers have read this article !
Published by : MB WEB 2018-09-24 08:11:37

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට වසර ගණනාවක සිට හරිහමන් අහස් වැස්සක් වැටුණේ නැත. සුළු වැස්ස ඇදහැලුණත් ඉන් නියඟය හමාර වූවා යැයි කිව නොහැකිය. යළ සහ මහ දෙකන්නයම අවස්ථා කිහිපයකදීම පාළු විය. අහස් වැස්සෙන් කුඩා වැව්වලට එක්කාසු වූ දිය බිඳින් මහා බලාපොරොත්තු තබා ගෙන වී වගා කළ හා හේන් ගොවිතැන් කළ ගොවියන්ගේ බෝග වගාවන් කේඬෑරි වී විනාශයට පත්වූයේ ඔවුන්ගේ කුස පුරවා ගන්නට දැරූ උත්සාහයට හෙණ පතිත වූ ආකාරයටය.

වී පමණක් නොව ගොඩ ගොවිතැන් සියල්ලත් ජලය නොමැතිව සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. බත් වෙනුවට කන්නට තිබූ මඤ්‍ෙඤාක්කා, වට්ටක්කා, කවුපි, මං ඇට සියල්ලම විනාශ වී ගියේ අහිංසක ගොවි ජනතාවගේ පවුල් පිටින් හාමතේ තබමින්ය.

සැබැවින්ම අසරණයන්ට ඉතිරි වූයේ සිඳී ගිය වැව් රොන් මඩ අස්සේ වැඩුණු නෙලුම් අලයකි. අමතර බෝගයක් ලෙස කීයක් හරි උපයා ගන්නට වගා කළ කෙසෙල්, වම්බටු, තල, කුරහන් හේන් අක්කර සිය ගණනින් විනාශ වී ගොස්ය. පොල් ගසකින් ගෙඩියක් කඩා ගන්නට තරම්වත් පලදාවක් නැති තරමට ඒවාත් විනාශයට පත්වී තිබිණි.
අනුරාධපුරය දිස්ත්‍රික්කයට වසර තුනකට ආසන්න කාලයක් හරිහැටි වැස්ස නොලැබීමෙන් පවුල් 17,000-18,000ත් අතර පිරිසක් අන්ත අසරණභාවයට පත්වී සිටිති. ඒ අතරින් මහවිලච්චිය, තන්තිරිමලය, ඔයාමඩුව, නොච්චියාගම, මැදවච්චිය, මිහින්තලය, කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන, වාහල්කඩ, එප්පාවල, කැකිරාව, තඹුත්තේගම යන ප්‍රදේශයන් ප්‍රධාන තැනක් ගනී.

සෑම වසරකම ඇති වන නියං තත්ත්වය හේතුවෙන් දැඩි ලෙසම පීඩාවට පත්වන්නේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. මෙවරත් කෑමට ආහාර පමණක් නොව බීමට පිරිසුදු පානීය ජලය නොමැතිව ඔවුහු දැඩි පීඩාවට පත්ව සිටිති.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරල්පැටියාව ජනසවිගම යාය තුන, කුකුල්කටුව, බෝගස්හන්දිය, මන්නාරම් හන්දිය, මහවිලච්චිය යාය 7-5, යාය හතර, ගල් කොරිය හා තන්තිරිමලය, තම්බියාව ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් තුන්වේල තියා දිනකට එක වේලක්වත් කන්නට නොමැතිව සුසුම් හෙළමින් සිටිති.

ඇතැම් පවුල්වල අතදරුවන් හා බිලිඳුන්ට මවුකිරි පොදක් දෙන්නට තරම්වත් මවට ශක්තියක් නොමැත. ඒ දරුවන්ගේ මවුවරුන්ගේ කුසට හරිහැටි ආහාරයක් නැති නිසාය.බොහෝ නිවෙස්වල ළිප ගිනි දැල්වෙන්නේ කහට කෝප්පයක් වත්කර ගැනීම සඳහාය. වැව් ජලයෙන් ගොවිතැන් බතක් කරගෙන කාටත් අත නොපෑ ඔවුන් අද අන්ත අසරණය. මහවිලච්චිය වැවෙහි තවත් යම් ජල මට්ටමක් ඇතත් ඇත්දත්කල්ල සදාසරණ කුඩා විලච්චිය, කුකුල්කටුව ජොලි වැව ආදී සියලුම වැව් පතුලටම සිඳී ගොසිනි.

නියඟයෙන් පීඩා විඳින මහවිලච්චිය ප්‍රදේශයේ ගොවීන් රැසක් කියා සිටියේ අපි තුන්වේලටම බඩ පිරෙන්න බත් කාපු මිනිස්සු මහත්තයෝ. නමුත් අපි කරපු මොන පවක් පඩිසන්දිලද දන්නෑ දැන් අවුරුදු තුනක් විතර හරි හමන් ගොවිතැන් බතක් කර ගන්න බැරිවුණා. මහවිලච්චිය එක යායට කරකුට්ටන් වෙලා ගිහිල්ලා. කොහෝ හරි එක තැනකින් ගිහිල්ලා ගිනි තිබ්බොත් මුළු මහවිලච්චියම අලුවෙලා යයි. ඒ තරම් ඉඩෝරය. මිනිසුන්ට විතරක් නෙවෙයි. සතා සීපාවටත් කන්න බොන්න දෙයක් නෑ. තමන්ගෙම කුඹුරු හේන් කරපු මිනිස්සු අෑත දුර බැහැරයට යනවා මොනවා හරි කුලියක් කර ගන්න යනුවෙන් ඔහු පැවැසුවේය.

අප නියඟයෙන් පීඩා විඳින්නන් සොයා මහවිලච්චිය දෙසට ඇදෙද්දී ජලය සිඳීගොස් පොළව ඉරිතළා ගිය වැවක කිසියම් කටයුත්තක නිරතවන පිරිසක් දුටුවෙමු. අපි ඒ දෙසට ඇදෙද්දී දුටුවේ කුඩා ළමයින් පිරිසක් දිය සිඳී ගිය වැවේ පොළොව හාරමින් සෙල්ලම් කරනා අයුරකි. මොකද කරන්නේ පුතාල. අපි නෙලුම් අල හොයනවා. නෙළුම් අල විකුණන්නද? නෑ. අපි මේ දවස්වල දවල්ට, රෑට කන්නේ මේවා. අම්මා තම්බලා ලුණු දාලා දෙනවා යනුවෙන් ඔවුහු පැවැසූහ.

ඕවා කෑවහම ඇද්ද? කන්න වෙන දෙයක් සොයා ගන්න හරිම අමාරුයි. තාත්තාගේ හේන් ඔක්කොම පාළුවෙලා තියෙන්නේ යනුවෙන් එහි සිටි දරුවෝ පැවැසූහ. එහි සිටි එක් දියණියක් මෙවැනි ආයාචනයක් කළාය. ෆොටෝ ගැහුවට කමක් නෑ මාමේ අපේ මූණු පේන්න පත්තරේ දාන්න එපා. ඉස්කෝලේ ඉන්න සමහර ළමයි දැක්කොත් අපිට විහිළු කරයි. සැබැවින්ම නියඟයෙන් පීඩා විඳින පවුල් මේ දිනවල දිය සිඳී ගිය වැව්වලට බැස නෙලුම් අල සෙවීම කරන අයුරු මහවිලච්චියේ සුලබ දසුනකි.

නියඟය හේතුවෙන් බැටකන ජනතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි ආර්. අනුර බණ්ඩාර මහතාය. නියඟය නිසා මුළු ගොවිජනපදයම අන්ත අසරණ භාවයට පත්වෙලා ඉන්නේ. වැව් සියල්ලම හිඳිලා. වතුර බිංදුවක් නෑ. කන්න ගන්න හාල් ඇටයක් නෑ ගේ ‍ෙදාරවල්වල. සමහරුන්ට හාල් කිලෝවක් කඩේකින් ගන්න වත්කමක් නෑ. මම තීරණය කරා අනුරාධපුරය නගරයට ඇවිල්ලා තියෙන ව්‍යාපාරිකයන්ට කියලා පොඩි ආධාරයක් ඉල්ල ගන්න.

අඩුම තරමේ දවසක් හරි දෙකක් හරි මේ මිනිසුන්ට, දරුවන්ට කන්න පුළුවන්නේ. අපි ආණ්ඩුවලට බැනලා විරෝධතාවන් තිබ්බා කියලා වැඩක් නෑ. කවුරුහරි දානපතියෙක් මේ මිනිස්සු ගැන අනුකම්පා කරලා කන්න බොන්න මොනවා හරි ටිකක් ලබා දුන්නොත් ගොඩක් පිං. සමහර දරුවන්ට පාසලකට යන්න පොතක් පෑනක් ගන්න නෑ යනුවෙන් ඔහු පැවැසුවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon