ගිවන්තගේ පැවිදි භූමිකාවේ ඇත්ත කතාව

  👤  2667 readers have read this article !
Published by : MB WEB 2018-09-20 08:22:13

ගිවන්ත සිවුරු දරාගෙන මොකක්ද මේ කරන්නේ..?

වෙල්ලස්සේ වෙඩි හඬ වේදිකා නාට්‍ය මේ දිනවල වේදිකාගත වෙනවා. 1815 - 1817 කැරැල්ලත් එක්ක සිදුවූ සිද්ධිදාමය වර්තමානයට ගළපලා වේදිකාවට ගෙනෙද්දි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඒ වෙනුවෙන් තමයි මට සිවුරු දරන්න වුණේ.

පැවිදි චරිතයක් නිරූපණය කළේ පළමු වතාවට නෙවෙයි නේද..?

මම මීට කලින් මියුසික් වීඩියෝවක පැවිදි චරිතයක් නිරූපණය කළා. වේදිකාවේ පැවිදි චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව මේක.

කාලයකට පස්සේ වේදිකාවට සම්බන්ධ වෙන්න හිතුවේ..?

ඇත්තටම මට වේදිකා නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ඒ වේදිකා නිර්මාණවලට සම්බන්ධ වෙන්න කාලය තමයි අඩු වුණේ. අසංග පෙරේරා කියන්නේ මගේ මිත්‍රයෙක්. ඉතිං මේ නාට්‍ය කොහොම හරි කරන්න ඕන කියන තැන මම හිටියා. මේ නාට්‍යයෙන් රටේ පවතින පාවාදීම්, ඝට්ටනය ගැන කතා කරන්නේ.

දැන් ගොඩක් අය හාසේ‍යාත්පාදක නාට්‍ය බලන්න කැමැතියි, එහෙම පසුබිමක සමාජයට කරන සේවයක් කියලා හිතලා තමයි අපි හැමෝම මේ නාට්‍ය කරන්න එකතු වුණේ.

වේදිකාව එක්ක තියෙන ගනුදෙනුවට ගිවන්ත කැමැතියි වගේ..?

කලාව වුණාට වේදිකාව, පුංචි තිරය, සිනමාව කියන්නේ මාධ්‍ය තුනක්. වේදිකාව කියන්නේ පුංචි තිරය, සිනමාව කියන දෙකටම එහා ගිය එකක්. ඇත්තටම මම වේදිකාවටත් කැමැතියි. මොකද එය හොඳ අභ්‍යාසයක් රංගනයට.

කාලෙකට පස්සේ ගිවන්තව වේදිකාවේ දකින්න ලැබෙද්දී ලැබෙන ප්‍රතිචාර ජයද..?

ඇත්තටම හිතාගන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය 1 වැනිදා 3.30 දර්ශනය ස්වාමීන් වහන්සේලා සහ ආබාධිත හමුදා නිලධාරීන් මූලික කරගෙන තමයි වේදිකාගත කළේ. සියලුම හාමුදුරුවන්ගෙන් මගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. එක් හාමුදුරු නමක් මට කිව්වා මම වාරියපොළ ශ්‍රී සුමංගල හිමිගේ චරිතය නිරූපණය කරනවා දැකලා ඔවුන්ටත් පිබිදෙන්න හිතුණා කියලා.

මේ දවස්වල පුංචි තිරයේ නිර්මාණ කිහිපයකින්ම ගිවන්ත පේන්නත් ඉන්නවා..?

ඔව්, ඒ සඳඑළිය සහ පැකේජ් කියන ටෙලි නාට්‍ය දෙකෙන්. ඒ නිර්මාණ දෙකේ රූගත කිරීම්වලට වගේම ඉන්ද්‍රචාපා සහ නේබරයා කියන ටෙලි නිර්මාණ දෙකෙහි රූගත කිරීම්වලටත් මේ දවස්වල එකතු වෙනවා.

කාලයක් ගිවන්ත පුංචි තිරයේ දකින්න ලැබුණේ අඩුවෙන්. දැන් ඒ නිහඬ බව බිඳින්න පුළුවන් නේද?

මම කාලයක් පේන්න නොහිටියේ මම සම්බන්ධ වුණු නාට්‍ය විකාශය නොවුණු නිසා. මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය දහයක් විතර විකාශය වෙන්න තියෙනවා. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහතුනක් වෙනවා. මේ අවුරුදු දහතුනටම මම වැඩ නැතුව ඉඳලා නැහැ. කොච්චර වැඩ කළත් සල්ලි නැති එක වෙනම කතාවක්. ඒත් මම දිගටම වැඩ කළා.

දැන් ගිවන්තව සම්මාන උළෙලවලිනුත් හැලිලා කියන්නේ ඇත්තද..?

දැන් අවුරුදු හතක් අටක් තිස්සේ රයිගම්, සුමති කියන කිසිම සම්මාන උළෙලකින් මට ආරාධනා පත්‍රයක් ඇවිත් නැහැ.

දුකක් නැද්ද ඒ ගැන..?

අපෝ නැහැ. කිසිම දුකක් නැහැ. ආවත් මම යන්නේ නෑ. ඒක මගේ හැටියක්.

සම්මාන ගැන බලාපොරොත්තු අතහැරලා ඇත්තේ..?

සම්මාන නම් ඕනෙත් නෑ. අපිට ලැබෙන ලොකුම සම්මානය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවනේ.

වේදිකාවේ, පුංචි තිරයේ ජීවත් වෙන ගිවන්තට අවුරුදු දහතුනක් ක්ෂේත්‍රයේ ඉඳලත් සිනමාවේ අවස්ථා අඩුයි. ඇයි ඒ...?

ඒක මමත් දන්නේ නෑ. මට ආරාධනා ලැබෙන චිත්‍රපට කරලා තේරුමක් නෑ. චිත්‍රපට කියලා ආරාධනා කළාට ඒවා චිත්‍රපට නෙවෙයි. මම ඒ වගේ දේවල් කරන්න ආස නැහැ. මම මෑතකදී "අල්ලපු ගෙදර" කියන චිත්‍රපටයේ නව නිර්මාණයට දායක වුණා. සමස්තයක් විදියට බලද්දී සිනමාවේ අවස්ථා අපිව මඟහැරලා. සමහර වෙලාවට කරන නිර්මාණවල අපිට ගැළපෙන චරිත නැද්ද දන්නේ නැහැ.

ගිවන්තට යාළු මිත්‍රයෝ වැඩියිලු නේද..?

ඔව්, මට යාළුවෝ ගොඩක් ඉන්නවා.

ගිවන්ත දැන් පෙම්වතෙක් කියන්නේ ඇත්තද..?

එහෙම දෙයක් නම් නෑ.

හැබැයි ඔබේ පෙම්වතිය කියන කෙනා එක්ක සමාජ මාධ්‍යවල ඡායාරූප පළ වෙනවා. ඒකත් බොරුවක් කියලද කියන්නේ..?

අපිට ඉතිං ඕන කෙනෙක් එක්ක ෆොටෝ ගන්න පුළුවන්නේ. සමහර වෙලාවට එකම කෙනා එක්ක නිතර ෆොටෝ ගැනෙන අවස්ථාත් තියෙනවා. ඒක ඉතිං සාමාන්‍ය දෙයක්. ෆොටෝ ගත්තා කියලා ඒ අය පෙම්වතිය කියලා කියනවා නම් ඒක දකින අයගේ ප්‍රශ්නයක්.

ගිවන්ත තාත්තා කෙනෙක්නේ. ඔබ වගකීම් සහගත පියෙක්ද?

මගේ පුතා තමයි මගේ ජීවිතේ අංක එක. පුතාගේ නම නෙතුක. එයා පුදුම වදකාරයෙක්. එයාගේ අවශ්‍යතා සීයක් තිබ්බත් මම ඒවා ඉෂ්ට කරන්න ඕන. මම හිතනවා මම වගකීම් සහගත පියෙක් කියලා.

ගිවන්තගේ කාර්යබහුලත්වය වගකීම් ඉෂ්ට කරන්න බාධාවක් නෙවෙයිද?

නැහැ, මොන වැඩ තිබ්බත් මම මූලිකත්වය දෙන්නේ පුතාට. පුතා මගේ පළමු වගකීම නිසා එයාව මට මිස් වෙන්නේ නෑ. කාලය බෙදාගෙන එයා වෙනුවෙන් මම වැඩ කරනවා.

අලුත් වැඩකටත් අතගැහුවනේ. ඒ ගැනත් කියමු..?

ඔව්, මමයි තව යාළුවෝ හතර දෙනකුයි එකතුවෙලා "ලයන් ගේට්" කියලා ප්‍රඩක්ෂන් හවුස් එකක් ආරම්භ කළා. එය පටන්ගත්තේ පන්නිපිටියේ. ඉතිං ඒ වැඩ කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon