"'ක්වික් රන් බෑග්' එක සුදානම්" ෆ්ලොරන්ස් කුණාටුවට සැරසෙන ඇමෙරිකාවේ ශ්‍රී ලාංකිකයෝ

  👤  1789 readers have read this article !
Published by : MB WEB 2018-09-13 12:18:12

ෆ්ලොරන්ස් හරිකේන් කුණාටුව ලෙස නම් කර ඇති, දශක තුනකට ආසන්න කාලයක් තුළ අමෙරිකා එක්සත් ජනපදයේ කැරොලිනා ප්‍රාන්තයට බලපෑමට නියමිත බලවත්ම සුළි සුළං තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව කාලගුණ අනාවැකි පවසයි.

ඉදිරි පැය 48 ක කාලය තුළ ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ දෙසට හමා එන ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් "ජල මට්ටම් ඉහළ යාමෙන් ඇතිවන ජලගැලීම් හමුවේ ජීවිත තර්ජන" ඇතිවිය හැකි බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

"අපි ඉන්නේ ටිකක් උස භූමියක. ඒ නිසා ගංවතුරෙන් හානියක් නැතත් සුදානමින් ඉන්නේ" මේරිලන්ඩ් ප්‍රාන්තයේ රොක්වෙල් ප්‍රදේශයේ පදිංචි සුදිල ද සිල්වා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

"ඇත්තටම ෆ්ලොරන්ස් කුණාටුව අවසන්වෙන තැනක් නිශ්චිත නැතත්, දැනට කර තිබෙන අනුමානයන් අනුව අපි ඉන්නේ එහි කෙළවර." ඔහු පැවසීය.

සිව්වෙනි අදියරේ බලපෑමක් සහිත ෆ්ලොරන්ස් සුළි කුණාටුව නිසා පැයට කිලෝමීටර් 225 ක වේගයෙන් සුළං හමා යනු ඇති බව වාර්තාවේ.

එය සිකුරාදා උතුරු කැරොලිනාවේ විල්මිංටන් ආසන්නයෙන් ගොඩබිමට කඩාවදිතැයි විශ්වාස කෙරේ.

වර්ජිනියා, මේරිලන්ඩ්, උතුරු සහ දකුණු කැරොලිනා යන ප්‍රාන්තවල මෙන්ම වොෂිංටන් ඩිසී අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

"අපිට දැඩි සුළං ඇතිවිය හැකි බවත් එනිසා අධික වර්ෂාව ඇතිවිය හැකි බවත් ප්‍රකාශ කරලා තියෙනවා. මේ නිසා ගස් කඩා වැටීම් සිදුවිය හැකි බව විශ්වාස කරනවා," සුදිල ප්‍රකාශ කළේය.

නිවසේ සියල්ලගේම ගමන් බලපත්‍ර, සමාජ ආරක්ෂණ කාඩ්පත්, අත්‍යවශ්‍ය ඖෂධ සහ යම් කිසි මුදල් ප්‍රමාණයක් ඇතුළත් 'ක්වික් රන්' (Quick Run Bag) බෑගයක් හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සුදානම් කර ඇති බව ඔහු බීබීසී සිංහල සේවයට පැහැදිළි කළේය.

දිනකට ප්‍රමාණවත් පානීය ජලය, දිනකට අවශ්‍ය වියලි ආහාර, හොඳින් බලගන්වන ලද ජංගම දුරකථන, ඖෂධ සහ මුදල් සහිත බෑගයක් වෙනම සුදානම් කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

වර්ධනයවන තත්ත්වය පිළිබඳවත් ගතයුතු පියවර සම්බන්ධවත් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම උපදෙස් දෙමින් තිබෙන බව සුදිල පවසයි.

 

(BBC)

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon