සැම්සුන්: නම්‍යශීලී ජංගම දුරකතන වෙළෙඳපොළට හඳුන්වාදීමට කාලයයි

  👤  1535 readers have read this article !
Published by : MB WEB 2018-09-09 15:25:14

නම්‍යශීලී ජංගම දුරකතන වෙළෙඳපොළට "හඳුන්වාදීමට කාලය" එළැඹ ඇති බව සැම්සුන් සමාගමේ ජංගම දුරකතන අංශයේ ප්‍රධානියා පවසයි. නැමිය හැකි ජංගම දුරකතන එළිදැක්වීමට සැම්සුන් සමාගම සූදානම් බව පසුගිය දිනවල කටකතා පැතිරී ගියේය.

නම්‍යශීලී ජංගම දුරකතනවලට වෙළෙඳපොළේ ඇති ඉල්ලුම සැම්සුන් සමාගමේ නිරීක්ෂණ අනුව පෙනී යන බව ඩීජේ කෝ (DJ Koh) CNBC නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය.

දුරකතන නිෂ්පාදකයන් කීපදෙනෙකුම නම්‍යශීලී තිරයක් සහිත, මැදින් නැම්මක් නොපෙනෙන සේ දෙකට නැමිය හැකි ජංගම දුරකතන නිර්මාණය කරමින් සිටින බවට කටකතා පැතිරී තිබේ.

කෙසේවෙතත්, තවමත් "පෙන්වීමට කිසිවක් නැහැ" යැයි සැම්සුන් සමාගම බීබීසී වෙත පැවසීය.

නම්‍යශීලී දුරකතන නිර්මාණය කරන ක්‍රියාවලිය ඉතා "සංකීර්ණ" නමුත් සැම්සුන් සමාගම එය "අවසාන කිරීමට ආසන්න" බව ඩීජේ කෝ CNBC පැවසුවේය.

කෙසේනමුත්, සමාගම මෙම නව දුරකතන වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, පාරිභෝගිකයන්ට නම්‍යශීලී දුරකතන භාවිත කිරීමට පැහැදිලි අරමුණක් තිබිය යුතු බව ඔහු පැවසීය.

"නැමිය හැකි දුරකතනයක් දිග හැරිය විට එයින් ලැබෙන වාසිය ටැබ්ලට් එකකට වඩා වෙනස් වන්නේ කොහොමද?," ඔහු පැවසුවේය.

"දිග හැරිය විට ලැබෙන අත්දැකීම ටැබ්ලට් එකකින් ලැබෙන අත්දැකීමට සමාන නම් ඇයි මිනිස්සු මෙය මිලදී ගන්නේ?"

"සෑම උපාංගයක්ම, ඒවායේ සෑම කොටසක්ම සහ සෑම නිර්මාණයක්ම අපේ පාරිභෝගිකයන්ට තේරුමක් තිබෙන දෙයක් විය යුතුයි."

චීන දුරකතන නිෂ්පාදන සමාගමක් වන 'හුවාවී (Huawei)' සැම්සුන් සමාගමේ ප්‍රධාන තරගකරුවෙකු බවට පත් වී තිබේ. ඇපල් සමාගම පසුකරමින්, හුවාවී ලෝකයේ දෙවෙනි විශාලතම දුරකතන නිෂ්පාදන සමාගම බවට පත්වී ඇත.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon