නිලාර්ගේ විසිපස් වසරක සටහන් තබන 'සරස වසන්තය'

  👤  2167 readers have read this article !
Published by : MB WEB 2018-09-07 11:11:08

අපේ රටේ ඉන්න ගේය පද රචකයන් අතර නිලාර් එන්. කාසිම්ටත් හිමිවන්නේ සුවිශේෂීි ස්ථානයක්. ඒ ඔහු සිංහල ගීත සාහිත්‍යය වෙනුවෙන් කළ ඒ වගේම තවමත් කරන අනුපමේය සේවය නිසා.

අපට මේ පෙරවදන නිලාර් වෙනුවෙන් තබන්න සිතුණේ එළැඹෙන සැප්තැම්බර් 07 වැනි සිකුරාදා සවස 5.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන "සරස වසන්තය" මියැසි සුයාමය සැලකිල්ලට ගත් මොහොතකයි.

"සරස වසන්තය" ගැන ටිකක් කතා කරමු. ඊළඟට නිලාර් එක්ක අපේ සහෘද සංවාදය ඔය විදියට ඇරැඹුණා.

"මම ගීත ලියන්න පටන් ගෙන අවුරුදු විසි පහක් වුණා. ඒක තමයි මේ "සරස වසන්තය" පැවැත්වීමට මූලික නිමිත්ත වුණේ."

"සරස වසන්තය" කියන්නේ ප්‍රසංගයක් විතරක්ම නෙවෙයි. එදාට මගේ විසි පස් වසරක නිර්මාණ ජීවිතය තුළ ලියැවුණු ගී සියයක ග්‍රන්ථය වගේම ගී සියයක යූ.එස්.බී. පෙන් ඩ්‍රයිව් එකත් ජනගත කරනවා. ඒ වගේම ඒ ගීත අඩංගු සංයුක්ත තැටි 4ක් එළිදක්වන්නත් කටයුතු යොදා තිබෙනවා.

මේ අවස්ථාවට සහභාගි වන ලෙස නිලාර් ගෞරවයෙන් යුතුව ඇරයුම් කොට තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට. ඒ වගේම මහාචාර්ය ජේ.බී. දිසානායක, සමන් අතාවුදහෙට්ටි සහ නදීක ගුරුගේ සහෘද සංකථනයන් දායක වෙනවා. සත්සර අණසක ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි.

උත්සවය පුංචිම නැහැ නේද?

මේක මගේ් ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක්. ඒ නිසා හොඳින් වැඩ කටයුතු ටික සංවිධානය කළා. "තීර්ථය" සංවිධානය ඒ වෙනුවෙන් කැපවුණා.

"මම යුග තුනක ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත ලිව්වා. ඔවුන් අතරින් අමරසිරි පීරිස්, එඩ්වඩ්, රූකාන්ත, චන්ද්‍රලේඛා, සමන්ත පෙරේරා, නිරෝෂා, උරේෂා, ඉන්දිකා, කසුන්, භාතිය - සන්තුෂ්, උමාරියා, තීක්ෂණ හා රුවන් හෙට්ටිආරච්චි මෙහිදී ගී ගයනවා.

ඔබේ බිරිය හේමන්ති රණසිංහ?

ඔව්. ඇය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. හේමන්ති මේ ප්‍රසංගයේදී ගී ගයනවා. ඇය කේමදාස පදනමේ සිටි දක්ෂ ශිල්පිනියක්.

ඔබ හින්දා ඇය කැප කිරීම් කළා. ගෙදර දොරේ වැඩ කටයුතු භාරගෙන පැත්තකට වුණා?

මම හුඟාක් කාර්යබහුල හින්දා තමයි ඇයට ගෙදර ‍ෙදාරේ වැඩ කටයුතු භාරගෙන ටිකක් විතර අඩිය පස්සට තියන්න සිදුවුණේ. අපේ දරුවෝ දෙන්නම ගැහැනු දරුවෝ. ඉතින් අම්මා හැටියට ඇයට වගකීම් හුඟාක් දරන්න සිදුවුණා.

නමුත් ඇය වරින් වර ගී ගයමින් ඇගේ දක්ෂතා පෙන්නනවා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන "වෙස්" ටෙලි නාට්‍යයෙත් ඇය ගයන ගීතයක් විකාශය වෙනවා. ඒ වගේම ඇය අසංග ප්‍රියමන්ත සමඟ ගැයූ "මල් වැහි සේ වැහි වැටුණාවේ", සුනිල් එදිරිසිංහයන් සමඟ ගයන "වේරගම්පිට පන්සලේ" වාගේ තවත් ගීත කීපයක් හුඟාක් ජනප්‍රිය වුණා.

නිලාර්ගේ ජීවිතේ සුවිශේෂීම අවස්ථාවක් නේද ඉන්දීය ගායිකා ආශා බෝස්ලෙ හමුවිම?

ඔව්..... මා දන්න විදියට උත්තර භාරතයේ ප්‍රවීණතම ගායිකාව වූ ලතා මංගේෂ්කාර් ආනන්ද සමරකෝන් මහතා සමඟ වැඩ කළාට පස්සෙ ගීත රචකයෙක් විදියට ඉන් පසුව ආශා බෝස්ලෙ සමඟ වැඩ කරන්න ලැබුණේ මට. ඒක සුවිශේෂී අත්දැකීමක්.

"මට ඇත්තටම මේ අවස්ථාව ලැබුණේ භාතිය - සන්තුෂ්ලා නිසා. ඔවුන් එතුමිය එක්ක "දේදුන්න සේදී" කියන ගීතය ගැයුවා. ඒ ගීතය පද රචනා කරන්න ලැබුණේ මට."

"ඉතින් මම ගීතය පටිගත කරන වෙලාවේ එතැනට ගියාම භාතියලා මාව ඇයට හඳුන්වා දුන්නා. ඒ මොහොතේ සිට ඇය මා සමඟ කුලුපග වෙමින් ගීතයේ වචන උච්චාරණය පවා මගෙන් විමසා සිටියා. ගීත රචකයකුට ලබාදෙන ගෞරවය ඇය මට ලබා දුන්්නා. ඇයගේ විශිෂ්ටතාව ඇය පෙන්වා දුන්නේ එහෙමයි."

ඔබ මුස්ලිම් ජාතිකයෙක්. නමුත් සිංහල සාහිත්‍යයට ඇලුම් කරන අපූරු චරිතයක්. කොහොමද මේ ආභාෂය ඔබට ආවේ?

මගේ උපන් ගම මාතර. පාසල් ගියේ රාහුල විද්‍යාලයට. නගරයේ ජීවත්වුණු අපේ පවුලේ සහෝදරියන් 3යි. සහෝදරයන් 3යි. මේ අයගෙන් සහෝදරියෝ දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවා. පිරිමි අපි සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවා.

ඉස්කෝලේ යන කාලේ මගේ හිත ගිහින් තිබුණේ විද්‍යා විෂයන්වලට. නමුත් පසුකාලෙක මම සිංහල සාහිත්‍යයට බර වුණා. ඊට පෙර සිනමාවේදියෙක් වෙන්නත් වුවමනාව තිබුණා.
පාසල් යන කාලේ බිත්ති පුවත්පතකට කවි ලිව්ව මම පසුව රුහුණු ගුවන් විදුලි සේවයේ නිවේදකයෙක් විදියට වැඩ කළා. ඊට පස්සේ පත්තරවලට කවි ලිව්වා.

ඔය විදියට ගෙවුණු ජීවිතේ ඇතුළේ විවරණ සඟරාවටත් කැප කළා. ඒ වෙද්දී මම සින්දු ලියලා ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන්ට තැපෑලෙන් යවන්නත් පුරුදු වී සිටියා.

ඔය විදියට කරුණාරත්න දිවුල්ගනේ මහතාට යැවූ ගීතයක් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන් අතට පත්වී තිබියදී ඒ ගීතය අප අතරින් වියෝ වුණු මාලිනි බුලත්සිංහල මහත්මියට ලබාදී තිබුණා. ඒ "සමනලුන් රෑණ නිල් ගොයමට" කියන ගීතය.

ඉන් පසුව තමයි "හිත මනමාලකම් කරයි", "පැහැසර අරණක", ඉර මල පිපුණාවේ", "විහඟ ගීතය" වගේ ගීත ජනප්‍රිය වුණේ

සමන් ප්‍රියංකර නම්මුනිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon