වෙල්ලස්සේ වෙඩි හඬ පත්තු වෙන්න සූදානම්

  👤  1944 readers have read this article !
Published by : MB WEB 2018-09-06 09:47:41

"වෙල්ලස්සේ වෙඩිහඬ" නාට්‍ය නිර්මාණය කිරීමට පසුබිම් වූ කාරණය මොකක්ද?

වෙල්ලස්ස කැරැල්ල සිදුවෙලා මේ අවුරුද්ද වෙනකොට වසර 200ක් සැපිරෙනවා. මොනරවිල කැප්පෙටිපොළ, ඇල්ලෙපොළ, ඇහැළේපොළ, කිවුලෙගෙදර, බූටෑවේ ඇතුළු සියලුම රණවිරුවන් සිහිපත් කිරීම උදෙසා මේ නාට්‍ය වේදිකාගත කරනවා.
1979 වසරේ නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස තමයි අපි මේ නිර්මාණය කළේ.
1818දී සිදුවුණු දෙයමද 2018ත් වෙන්නෙ කියන පණිවුඩය අපි ජනතාවට දෙන්න බලාපොරොත්තු වෙනවා.

ජනප්‍රිය මාධ්‍යට රංගන ශිල්පීන්ගේ දායකත්වය වැඩි නිසා මේ නිර්මාණයට රංගන ශිල්පීන් තෝරගන්න අපහසු වුණේ නැද්ද?

මේ නාට්‍යට නළු නිළියන් සම්බන්ධ කර ගන්නකොට මට කිසිම ගැටලුවක් මතු වුණේ නැහැ. මම හිතුවෙත් නැහැ මේ තරම් සහයෝගයක් මට ඔවුන්ගෙන් ලැබෙයි කියලා.
ටෙලි නාට්‍ය මාෆියාවත් එක්ක ගොඩක් අය උත්සාහ කරන්නෙ අද රඟපාලා හෙට ජනප්‍රිය වෙන්න. මම මේ නාට්‍යයට සම්බන්ධ කරගත්තෙ එහෙම රංගන ශිල්පීන් නෙවෙයි. බුද්ධිමත් අය. අපි මේ නාට්‍යයේ එක දිගට මාස දෙකක් දෙකහමාරක් පුහුණුවීම් කරලා තමයි නාට්‍ය ප්‍රදර්ශනය කරන්නෙ.

ඒ විදියට ඔබ තෝරගෙන නාට්‍යයට රංගනයෙන් දායකවන පිරිසත් මතක් කරමු?

වාරියපොළ සුමංගල හිමිගේ චරිතය - ගිවන්ත අර්ථසාද් නිරූපණය කරනවා. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ චරිතය - රොශාන් පිලපිටියත්, වීර කැප්පෙටිපොළ චරිතය - මම නිරූපණය කරනවා. කොහුකුඹුරේ රටේ රාලගේ චරිතය - මහේන්ද්‍ර වීරරත්නත්, බූටෑවේගේ චරිතය - බුද්ධික ලොකුකැටියත්, ඇල්ලේපොළ චරිතය - අජිත් ශාන්තත්, කැප්ටන්ගේ චරිතය - සංජුල දිවාකර විසිනුත් වීර කැප්පෙටිපොළගේ නැඟණියගේ චරිතය - ඉමායාත් නිරූපණය කරනවා.
ශිල්පීන් තිහකට ආසන්න පිරිසක් මෙහි රංගනයට දායක වෙනවා. මෙහි නව සංගීතය සමන් ලෙනින් විසින් නිර්මාණය කළා.

නාට්‍යය ප්‍රදර්ශනය කරන කාලවකවානු මොනවද?

මෙහි මංගල දර්ශනය අද (සැප්තැම්බර් 1) සවස 3.30ට සහ 06.30ට ටවර් රඟහලේදී වේදිකාගත කරනවා. අනෙක් දර්ශන සැප්තැම්බර් 21 වැනිදා මතුගම ශ්‍රවණාගාරයේදීත් ඔක්තෝබර් 20 අලුත්ගමදීත් පෙන්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ වෙනකොට දර්ශන වාර 15ක් පමණ සංවිධානය කර තිබෙනවා. දහම් පාසල් සහ පල්ලිවලින් මේ නාට්‍ය ප්‍රදර්ශනය කරන්න කියලා වැඩි වශයෙන් ඉල්ලා තිබෙනවා.

මේ නිර්මාණයට නිෂ්පාදන දායකත්වය ලබාගන්න බොහෝ මහන්සි වුණාලු නේද?

මම මේ නාට්‍යයේ පිටපත අරගෙන නිෂ්පාදකවරු රාශියක් ගාවට ගියා. ඒ හැම කෙනෙක්ම ඒක ප්‍රතික්ෂේප කළා. ඉන්පසුව රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ මට මුණගැසුණා. උන්වහන්සේ වෙළෙඳ ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගනිමින් මෙය නිෂ්පාදනය කිරීමට කෙනෙක් සොයා ගැනීමට උත්සාහ කළා. ඒ ඔස්සේ බි්‍රතාන්‍ය ශ්‍රී ලාංකික සංසදය මට ඒ සඳහා සහයෝගය දීමට ඉදිරිපත් වුණා. එම සංසදයේ විශේෂඥ මනෝ වෛද්‍ය මද්දුම බණ්ඩාර රණතුංග සහ මාධ්‍යවේදී ජනක අලහප්පෙරුම යන අය මාව දැකලවත් නැතිව ස්කයිප් මඟින් කතා කරලා තමයි මේ නාට්‍යයට මට සහයෝගය ලබා දුන්නෙ.

බි්‍රතාන්‍යයට එරෙහිව කරපු කැරැල්ලක් ගැන නාට්‍යයක් කරන්න බි්‍රතාන්‍යයෙන්ම සල්ලි ගෙවලා දායක වෙන එකත් විශේෂත්වයක්.

නාට්‍යයට යම් යම් චෝදනාත් එල්ලවෙනවා නේද?

මේක ජාතිවාදී නාට්‍යයක් කියලා සමහරු මත ගොඩනඟනවා. ජාතිවාදී කණ්ණාඩියෙන් බැලුවොත් තමයි එහෙම පේන්නෙ.
අපේ රට බි්‍රතාන්‍යයන් ආක්‍රමණය කරනකොට සුද්ද රට විනාශ කරනකොට සියලුම ආගමික නායකයන් ඒකට විරුද්ධව මැදිහත් වුණා. එහෙව් අරගලයක් විනා එය ජාතිවාදී අරගලයක් නොවෙයි. ඒ නිසා මේ නාට්‍ය ශ්‍රී ලාංකිකවාදී නාට්‍යයක්ම පමණයි.

ඔබ වේදිකාවට කොතරම් පරිණතද?

මම වේදිකාව එක්ක සම්බන්ධ වෙලා අවුරුදු 27ක් වෙනවා.

ඔබ වේදිකාව එක්ක ගනුදෙනු කරන්නෙ වේදිකාවට තියෙන ආදරේටද? එහෙමත් නැත්නම් වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන්ද?

වේදිකාවට තියෙන ආදරේට වඩා මම මට තියෙන ආදරේට තමයි වේදිකාවට සම්බන්ධ වුණේ. මම මට ආදරය කරන්න පටන් ගත්තෙ වේදිකාව නිසා. මට නළුවෙක් විදියට නැඟිටින්න පුළුවන් වුණේ වේදිකාව නිසා. මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙත් වේදිකාවෙන් ලැබුණ පන්නරය නිසා.

ප්‍රහසනවලට වැඩිපුර රංගනයෙන් දායකවෙලා එක පාරටම සංකීර්ණ නාට්‍යයක් කරන්න හිතුණෙ ඇයි?

අපි විහිළු කරන්නේ, මිනිස්සුන්ව හිනස්සන්නෙ අපේ ජීවත් වීම උදෙසා. රටේ හොඳ නිර්මාණ කරනවා. නමුත් අපිට ලැබෙන්නෙ සීමිත ප්‍රමාණයයි. හොඳ නිර්මාණ කරන්න බැරිකමක් නෙවෙයි. ඒ නිර්මාණ ලැබීම සීමිතයි. හොඳ නිර්මාණ ලැබුණොත් අපි කරනවා.
මෑත කාලයේ ටෙලිනාට්‍ය විසින් අපිව කාණ්ඩගත කළා. එතැනින් පස්සෙ තමයි ජීවත් වීම උදෙසා අපිට විහිළු කරන්න වුණේ.

මේ දවස්වල ඔබ සම්බන්ධ වෙන අනෙකුත් නිර්මාණ කටයුතු මොනවද?

මිනිගංදෑල ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. අරුණ ජයවර්ධන මහතාගේ චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වුණා.

ඉරේෂා කල්හාරි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon