නිරෝෂා විරාජිනි විනිශ්චය පුටුවක ඉඳගත්ත හේතුව

  👤  2524 readers have read this article !
Published by : MB WEB 2018-08-19 13:31:52

ඔබ මේ දවස්වල විනිශ්චය පුටුවක දකිනවා?

ඔව්. හිරු ඉබචප වැඩසටහනේ විනිශ්චයට මම එකතු වෙලා ඉන්නවා.

විනිශ්චය මණ්ඩලයක නැවත අසුන් ගන්නෙ නැහැ කියන තීරණයේ හිටපු ඔබ නේද මේ විනිශ්චය මණ්ඩලයක අසුන්ගෙන තිබෙන්නේ?

මම නැවත විනිශ්චය මණ්ඩලයක ඉඳගන්නේ නැහැ කියලා සිතිවිල්ලක හිටියා. දැන් රියැලිටි තරගවල යම් ඒකාකාරීත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ දේවල් එක්ක මට හිතුණා ඒ වෙනුවෙන් වෙන් කරන කාලය අපරාදෙ කියලා.

එතකොට හිරු ඉබචප වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ අසුන් ගන්න හිතුණේ ඇයි?

මට නාළිකා කිහිපයකම රියැලිටි වැඩසටහන්වලට ආරාධනා ලැබිලයි තිබුණේ. යනවද නැද්ද කියලා හිතලා බලන්නම් කියන තීරණේ මම හිටියා.
නමුත් හිරු ඉබචප වැඩසටහනේ තේමාව එක්ක මට හිතුණා දැන් තියෙන ඒකාකාරී රටාවෙන් මිදිලා වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතුණු නිසා මම ඒ සඳහා සහභාගි වුණා.

මේ තීරණය ගන්න බලපෑවේ මුදල කියන කාරණයද?

මට මොන නාළිකාවෙන් කතා කළත් යම් වටිනාකමක් ඉල්ලුම් කරන්න පුළුවන් වුණා. වටිනාකම අනුව ඒ හැම නාළිකාවම මට ගෙවීම් කරලා තියෙනවා. අපිට ඒ වටිනාකම එකතු වෙන්නෙ සමාජයෙන්.

තරගය ඇතුළෙ විනිශ්චයකරුවෙක්ට යම් වගකීමක් තිබෙනවානෙ. ඒ වගකීම ඉෂ්ට කරන්න මේ තරගයේදි ඔබට පසුබිම හැදිලා තියෙනවාද?

අනිවාර්යයෙන්ම. මේ තරගයේදී විනිශ්චයකරුවාට එහා ගිය වගකීමක් අපිට පැවැරිලා තියෙනවා. තරගකරුවන්ව පුහුණු කරන්නෙත් අපි. ඒ නිසා ඒ ඒ තරගකරුවන්ගේ හැකියාවන් පිළිබඳව අපිට පෞද්ගලිකව ලොකු අවබෝධයක් තිබෙනවා.

විනිශ්චය කටයුතුවලදී බලපෑම් සිද්ධ වෙන්නේ නැද්ද?

නැහැ. හිරු කාර්ය මණ්ඩලයෙන්, ප්‍රධානීන්ගෙන්, කලාකරුවන්ගෙන් ආදී කිසිම කෙනෙක්ගෙන් තරග විනිශ්චය කෙරෙහි බලපෑමක් එල්ල වෙලා නැහැ.

ඇතැම් අය ක්‍ෂේත්‍රයේ ඇතැම් ශිල්පිනියන් සමඟ ඔබව සංසන්දනය කරනවා. ක්‍ෂේත්‍රයේ යම් අයෙක් සමඟ ඔබට තරගයක් තිබෙනවාද?

අනේ නැහැ. මම ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු විසිපහකට කිට්ටුයි. කවදාවත් එහෙම ප්‍රශ්න ඇති වෙලා නැහැ.

මම කවුරු දිහාවත් ඔවුන් මොනවද කරන්නෙ කියලාවත් බැලුවෙ නැහැ. මට කා එක්කවත් තරගයක් ඇති කරගන්න වුවමනා වුණේ නැහැ. මම ක්‍ෂේත්‍රයේ ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි.

ගායිකාවක් විදියට මට කරන්න පුළුවන් ගොඩක් දේවල් දැන් මම කරලා තියෙන්නේ. ඒ නිසා නිර්ලෝභීව අලුත් පරපුර දිහා වුණත් බලන්න පුළුවන් වෙලා තියෙනවා. කාලය අනුව ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ අනුව බලන්න අපි පුරුදු වෙන්න ඕනෙ.

ප්‍රසංග වේදිකාවට ගොඩවෙද්දී ඔබ ලොකු වටිනාකමක් බලාපොරොත්තු වෙනවා කියන්නෙ ඇත්තද?

එක් එක් අය ක්‍ෂේත්‍රය තුළ තමන්ගෙ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඉන්නවා. ඒ ස්ථාවරත්වය සහ ස්ථානගත වීම අනුව සමාජය මට යම් තැනක් දීලා තිබෙනවා. මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මම මගේ නිර්මාණ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. මම ඒ නිර්මාණවලට ආදරෙයි. මම මගේ නිර්මාණවලට දීපු දායකත්වය වෙනුවෙන් කිසියම් වටිනාකමක් අපේක්ෂා කරනවා. නමුත් ඒක අසාධාරණ මුදලක් නෙවෙයි.

මුදලට එකඟ වන ඕනෑම ප්‍රසංගයකට සහභාගි වෙනවද?

මම එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නෙ නැහැ. ගෘහස්ථ ප්‍රසංගවලට විතරයි යන්නෙ. හැම ප්‍රසංගයක්ම භාරගන්න ඕනෙ කියන තැන මම නැහැ. මට ලැබෙන මුදල ජීවත්වෙන්න මට ප්‍රමාණවත්.

මෑත කාලයේ ඇති වී තිබෙන තරගයත් සමඟ ගීත ජනප්‍රිය කරවාගැනීම අභියෝගයක් නේද?

ඔව්. අභියෝගයක්. නමුත් අපි ක්‍ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගත් නිසා ලොකු අභියෝගයක් නැහැ. දැන් මාධ්‍ය ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක රූපවාහිනි සහ ගුවන්විදුලියට පමණක් සීමා වෙලා නැහැ.
කලාකරුවෝ විදියට අපි නිර්මාණවලට බැන බැන ඉඳලා වැඩක් නැහැ. කාලයට අනුව හොඳ නිර්මාණ සමාජගත කරන්න උත්සාහ කරන්න ඕනෙ. සමාජයට හානිදායක නොවන ඕනෑම නිර්මාණයක් හොඳ නිර්මාණයක් විදියටයි මම දකින්නෙ.

විනිශ්චය භූමිකාව එක්ක අලුත් ගීත නිර්මාණය පැත්තක තියලද?

මේ වැඩසටහනට සහභාගි වුණා කියලා සින්දු කියන එක නතර කරලා නැහැ. අලුත් ගීත කිහිපයක් පටිගත කළා. ගීත දෙකක රූප රචනයට අවශ්‍ය කරන දේවල් සැලැසුම් කරමින් ඉන්නවා. ඒවට මූල්‍යමය කටයුතුත් අවශ්‍යයිනෙ. තව මාසයක් වගේ ඇතුළත ගීත දෙකේ රූප රචනයත් සිදු කරනවා.

ළඟදී මනාලියකුත් වුණා නේද?

ඔව්. මගේ යහළුවකු වෙනුවෙන් තමයි මම මනාලියක් ලෙස හැඩ ගැන්වුණේ. ඒකෙන් පස්සෙ මම දන්න රූපලාවණ්‍ය ශිල්පීන් ගොඩක් කියනවා මනාලියකට අඳින්න කියලා.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon