ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී

  👤  925 readers have read this article !
Published by : MB WEB 2018-08-17 17:17:03

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ සංරක්ෂණය සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණින් පැවැත්වෙන ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වේ.

වසර තුනකට වරක් පැවැත්වෙන මෙම සමුළුව 2019 වසරේ මැයි 23 වනදා සිට ජූනි 03 වනදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙන අතර සාමාජික රටවල් 183 ක නියෝජිතයින් සහ අන්තර්ජාතික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ පරිසර සංවිධාන, ලොවපුරා මාධ්‍යවේදීන් ඇතුළු 4000 කට ආසන්න පිරිසක් ඊට එක්වීමට නියමිතය.

අන්තර්ජාතික මට්ටමේ සම්මුතියක් වන සයිටීස් සම්මුතිය හෙවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වනසතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියට 1973 වොෂින්ටන් නුවරදී පවත්වන ලද සමාරම්භක සැසියේදී අත්සන් තබා 1975 දී බලාත්මක කෙරුණු අතර ශ‍්‍රී ලංකාව ඊට එක්වන ලද්දේ 1979 වසරේදී ය.

ලංකාවේ වන ආවරණය වර්ධනය කිරීමටත්, වනජීවින් හා ජෛව විවිධත්වය රැක ගැනීමටත් තිරසර සංවර්ධන ප‍්‍රතිපත්තිය යටතේ ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක කරමින් තිබෙන අවස්ථාවක මෙම සමුළුව මෙවර ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීම සුවිශේෂී වෙයි.

සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් අමරතුංග, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරින් සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ඊට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon