ඉන්දියාවේ ජලගැලීම්: කේරළයේ 160 වැඩි පිරිසක් මියයති

  👤  406 readers have read this article !
Published by : MB WEB 2018-08-17 13:53:10

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ හටගෙන ඇති ජලගැලීම්වලින් පුද්ගලයින් 160 ට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විශ්වාස කෙරේ.

දැඩි වර්ෂාපතනය හමුවේ නිවැසියන් බේරා ගැනීම සඳහා ගලවාගැනීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරති.

පුද්ගලයින් 223,000 ට පමණ උන්හිටිතැන් අහිමි වී ඇතැයි වාර්තා වේ.

මියගිය පිරිසෙන් වැඩි දෙනා නායයාම්වලදී සුන්බුන්වලට යටවී ඇතැයි ප්‍රාන්ත ආණ්ඩුව පැවසීය.

තවත් වැසි ඇතිවේයැයි පළවූ අනාවැකි මෙන්ම නිකුත් වී ඇති රතු නිවේදනය හමුවේ ප්‍රාන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොල අගෝස්තු 26 තෙක් වසා තිබේ.

පුද්ගලයින් 106 දෙනෙකු මියගොස් ඇතැයි ප්‍රාන්ත නිලධාරියෙකු ඒඑෆ්පී පුවත් සේවයට පැවසූ අතර ඉන්දියාවේ ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළ පරිදි 114 දෙනෙකු මියගොස් ඇත.

ජලගැලීම්වලට හසුවුවන් ඉවත් කරගැනීම සඳහා හමුදාව මෙන්ම හෙලිකොප්ටර් හා ජීවිතාරක්ෂක බෝට්ටු ද යොදවා ඇත.

"අපි මේ දකින්නේ කේරළ ප්‍රාන්ත ඉතිහාසයේ කවදාවත් නොදුටු දෙයක් " යැයි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් වාර්තාකරුවන්ට පැවසීය.

"හැම වේල්ලක් ම පාහේ දැන් විවෘත කරලා. ජල පවිත්‍රකාරක ස්ථාන බොහොමයක් යටවෙලා. මෝටර් වලට හානිවෙලා"

ඔහු වැඩිදුරත් පැවසුවේ, අසල්වැසි තමිල්නාඩු ප්‍රාන්තයේ වේල්ලකින් ජලය මුදාහැරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව අපොහොසත්වීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බවය.

කේරළ ප්‍රාන්තය හරහා ඇදෙන ගංගා 41ක් අරාබි මුහුදට ගලා බසිති.

කේරළයේ වාණිජ නගරය වන කොචි හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

මතුවූ තත්ත්වය හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම ස්වදේශ කටයුතු ඇමතිවරයා ද කේරළ ප්‍රාන්තයට මධ්‍යම රජයේ සහය පළ කළහ.

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14 පුරා පාසල් වසා ඇති අතර ආරක්ෂාව හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්ක සංචාරකයින් හට තහනම් කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon