උෟරාපොත්ත කොළමුණුඔය පාලම දැඩි ලෙස අබලන්

  👤  1354 readers have read this article !
Published by : MB WEB 2018-08-16 12:01:35

බිංගිරිය - වී. සෝමවීර

බිංගිරිය උෟරාපොත්ත කොළමුණුඔය පාලම මේ වන විට දැඩි ලෙස අබලන් වී වාහන ධාවනය කිරීම අනතුරුදායක තත්ත්වයක පවතින නමුත් බර වාහන ධාවනය කිරීම එලෙසම සිදුවෙයි. උෟරාපොත්ත ගම්මානයේ වැසියන් ඇතුළු ගඩොල්වල, ගල්වැව, තිසෝගම ඇතුළු ගම්මාන රැසක වැසියෝ මෙම පාලම හරහා නිරන්තරයෙන් ගමන් කරති. විශේෂයෙන් උෟරාපොත්ත ගම්මානයේ වැසියන් පාරම්පරිකව මැටි වළං කර්මාන්තයෙන් ජීවත් වන බැවින් වළං අලෙවි කිරීමට බිංගිරිය විලත්තව ප්‍රදේශවල වෙළෙඳපොළ වෙත අත්ට්‍රැක්ටර්වල වළං පටවාගෙන රැගෙන යන්නේ ද මෙම පාලම මතිනි.

දැනට වසර 25කටත් වඩා වැඩි කාලයක සිට මෙම පාලමේ දෙපස පිහිටි ආරක්‍ෂක වැටවල් දෙක ඇතුළුව පාලමේ පැති බැමි දෙකද දැඩි ලෙස දිරාපත්ව තිබේ. පසුගිය ගංවතුර අවස්ථා කිහිපයකදීම පාලමේ ස්ථාන කිහිපයක්ම ගිලා බැසීමට ලක් විය. ඉන් පසුව බිංගිරිය ප්‍රාදේශීය සභාව මඟින් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගිලා බැසීමට ලක් වූ ස්ථානවලට පස් දමා බැරල් යොදා තාවකාලික පැලැස්තර යෙදීමක් සිදුකෙරිණි.

මෙම පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකදීම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියත් වගකිව යුත්තන්ගේ කිසිදු අවධානයක් යොමු වී නැත. උෟරාපොත්ත ප්‍රාදේශයේ වැසියෙක් අත්ට්‍රැක්ටරයක් පදවාගෙන පාලම මතින් ගමන් කරන විට පාලමේ එක් පසෙක ඇන්දක් කැඩී අත්ට්‍රැක්ටරය සමඟ එම පුද්ගලයා අඩි 20ක් පමණ පහළට ඇද වැටී අනතුරට ලක්ව ඇත.

ගම්වැසියන් එක්ව බිංගිරිය රෝහල වෙත ඔහු යවා ඇත. ඔහුගේ පාදවලට පමණක් තුවාල සිදු වී ඇති අතර බරපතළ අනතුරක් සිදුවී නොමැත.

එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි උෟරාපොත්ත ග්‍රාම සේවා නිලධාරි එෆ්.ඩී.එච්.එම්. සුදත් වීරවර්ධන මහතා මෙසේ කීය.

බර වාහන මේ පාලම උඩින් යන එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ගම්වැසියන් එකතු වෙලා මෙයට පියවරක් ගමු. බෝක්කුවක්, පාලමක් කැඩුණාම සදාකල්ම එහෙමයි. ගංවතුරක් ආවාම මේ ගමේ අයට යන්න පාරක් නැහැ. පාලම කැඩිලා ගියොත් මෙතැනට වෙලා බලාගෙන ඉන්න වෙනවා පාලමේ ඇන්ද තිබුණා නම් අත්ට්‍රැක්ටරය පහළට වැටෙන්නේ නෑ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon