ශ්‍රී ලංකා පිල 7 වැනි තැන ලබා වාර්තා අතරට

  👤  1270 readers have read this article !
Published by : MB WEB 2018-08-08 14:23:02

මියන්මාරයේදී පසුගියදා නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා සමාජ පිරිමි වොලිබෝල් තරගාවලියේ 7 වැනි ස්ථානය දිනාගත් 'ලංකන් ලයන්ස්' කණ්ඩායම එදා මෙදා තුර වොලිබෝල් ඉතිහාසයේ ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් ඉහළම ජයග්‍රහණය සටහන් කිරීමට සමත් විය.

නයි පෙයි තෝ නගරයේදී රටවල් 16ක ප්‍රබල ක්‍රීඩා සමාජ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ 7 වැනි ස්ථානය තෝරාගැනීම සඳහා වූ තරගයේදී 'ලංකන් ලයන්ස්' කණ්ඩායම හමුවේ චීන තායිපේ නියෝජනය කළ 'ලෝන් පවර්' කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි.

මූලික තරගවලදී 'සී' කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටයෙන් අපරාජිතව පෙරමුණ ගනිමින් අවසන් කණ්ඩායම් අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඕස්ට්‍රේලියාව, හොංකොං සහ තායිලන්ත ක්‍රීඩා සමාජ කණ්ඩායම් පරාජයට පත්වූ අතර අවසන් 8 දෙනාගේ වටයේදී මියන්මාරය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවත් කසකස්තානය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ ශූරතාව ඉරානයේ 'කතම් අර්ධකන්' කණ්ඩායමට හිමි වූ අතර අනුශූරතාව කසකස්තානයේ 'අතිරව්' කණ්ඩායම විසින්ද තෙවන ස්ථානය පාකිස්තානයේ 'වප්ඩා' කණ්ඩායම විසින්ද දිනාගන්නා ලදී. තවද 2011 වසරේදී පැවැති ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලියේදී 8 වැනි ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකාව මීට පෙර ලබාගෙන තිබූ ඉහළම ජයග්‍රහණය වාර්තා කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon