අසාම් ජනප්‍රියම මාධ්‍යවේදියා වුණේ කොහොමද?

  👤  1936 readers have read this article !
Published by : MB WEB 2018-08-05 15:20:15

ඔබට ලැබුණු ජයග්‍රහණය ගැන කතා කරමු

2018 සමාජ මාධ්‍ය උළෙලේ සමාජ මාධ්‍ය තුළ වසරේ ජනප්‍රියම ජනමාධ්‍යවේදියාට හිමි සම්මානය මට හිමිවුණා.

ඔබ ජනප්‍රිය වෙන්න විශේෂ කාරණාවක් තියෙන්න ඇති?

මාධ්‍යවේදියෙක් විදියට ගොඩක් වෙලාවට මම කරන්නෙ ජනතාවගේ ප්‍රශ්න දේශපාලනඥයන් වෙත යොමු කරලා ඔවුන්ට ඒ ගැටලු නිරාකරණය කරගන්න උදවු කරන එක.
ලංකාවේ වැඩිම පිරිසක් මාධ්‍යවේදියෙක් විදියට මාව ජ්ධතතධඹ කරනවා. මම ඔවුන්ට හැමවිටම සත්‍ය තොරතුරු ලබාදෙනවා. ඒ නිසා තමයි මට මේ සම්මානය හිමිවුණේ.

මේ ඔබට හිමිවුණු පළමු සම්මානයද?

නැහැ. මීට කලින් ට්විටර් සමාජ මාධ්‍යයේ හොඳම ප්‍රවෘත්ති සපයන්නාට හිමි සම්මානය මට හිමිවුණා.

ඔබ කැමැති මාධ්‍යවේදියෙක් විදියට ජනප්‍රිය ගොන්නේ ජීවත් වෙන්නද?

එහෙම කැමැත්තක් නැහැ. මාධ්‍යවේදියෙක් විදියට සරලව ජීවත් වෙන්න කැමැතියි. අසාධාරණයක් වුණොත් ඒ ගැන ප්‍රශ්න කරනවා.

මේ ජයග්‍රහණය ලබාගන්න මහන්සි වුණාද?

එහෙම මහන්සි වුණේ නැහැ. නමුත් මට තිබ්බ ජනප්‍රියත්වය එක්ක මට මනාප ලැබෙන්න ඇති.

සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙන්නත් ක්‍රම තියෙනවා. ඔබේ ක්‍රමය මොකක්ද?

මම ජනතාවට තිබුණු ප්‍රශ්න සහ ජනතාවට දැනගන්න අවශ්‍ය දේවල් අපක්ෂපාතීව සහ සමබර විදියට දේශපාලනඥයන්ගෙන් ඇහුවා. එතෙනදි මගේ වුවමනාව වුණේ දේශපාලනඥයො අමාරුවෙ දාන එක නෙවෙයි. මගේ වුවමනාව වුණේ ජනතාවට ඇත්ත දැනගන්න සැලැස්වීම සහ දේශපාලකයන්ට තමන්ගේ සැබෑ අදහස් ජනතාවට කියන්න සැලැස්වීම. මම හිතන්නේ ඒ නිසා මම ජනතාව අතර ජනප්‍රිය වුණා.

මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වුණ මුල කොතැනද?

මම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජනමාධ්‍ය කවයේ සභාපති විදියට වැඩ කළා. පාසලේ තොරතුරු එකතු කරලා පත්තරයක් කළා. මම ඒකටත් සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ ආභාසය මට ලැබුණා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරි අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඒත් ආශාව නිසාම අවසානයේදී ජනමාධ්‍ය පැත්තට තමයි යොමු වුණේ. මගේ පියත් මාධ්‍යවේදියෙක්.

වෘත්තීය මාධ්‍යවේදියෙක් විදියට ක්ෂේත්‍රයට පිවිසුණු හැටිත් කියමු?

මම මුලින්ම ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ සේවය කළා. ඊට පස්සේ නිදහස් ජනමාධ්‍යවේදියෙක් විදියට කටයුතු කළා. 2012 වසරේ ඉඳලා මේ දක්වා බී.බී.සී. සිංහල සේවයට සම්බන්ධ වෙලා ඉන්නවා.

සමාජ මාධ්‍ය ගැන සමහරුන්ට තියෙන්නේ අප්‍රසාදයක්. ඔබට සමාජ මාධ්‍ය ගැන තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

මාධ්‍යවේදියෙක් විදියට මම සමාජ මාධ්‍ය තුළින් ගොඩක් තොරතුරු ලබාගන්නවා. ජනතාවගේ අදහස්, කමෙන්ට් අධ්‍යයනය කරලා අවශ්‍ය තොරතුරු ගන්නවා. ඒ වගේම ජනතාව මට ගොඩක් තොරතුරු එවනවා. රටේ හොඳ මාධ්‍ය කලාවක් ඇති කරද්දී සමාජ මාධ්‍ය තුළින් මිනිසුන්ට යමක් කළ හැකියි. සමාජ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු පළවන අවස්ථා තියෙනවා. නමුත් ජනතාව මාධ්‍යවේදීන්ට නිවැරැදි තොරතුරු ලබා දුන්නොත් ඒ ගැටලුවත් වළක්වා ගන්න පුළුවන්.

මාධ්‍ය කලාවට අද එල්ල වන චෝදනා බොහොමයි. එහි යහපත් හැඩය රැකගන්න දායක වෙන කෙනෙක්ද ඔබ?

මාධ්‍යවේදියෙක් විදියට අපේ රාජකාරිය ඉලක්ක කරගෙන හරි දේ සහ අවශ්‍ය දේ කළොත් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඉබේටම ඇතිවෙයි.

අනාගත බලාපොරොත්තු?

මාධ්‍යවේදියෙක් විදියට ජාති භේදයකින් තොරව, අසාධාරණයට එරෙහිව පෙනී සිටින, ඒ වෙනුවෙන් කටයුතු කරන මාධ්‍යවේදියෙක් විදියට ඉස්සරහට යන්න ආසයි. ඒ වෙනුවෙන් වැඩ කරනවා.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon