අතුලගේ ඊළඟ පියවර

  👤  1341 readers have read this article !
Published by : MB WEB 2018-08-03 10:23:46

මොනවද මේ දවස්වල වැඩ?

මම පසුගිය දවස්වල කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය පිළිබඳ පාඨමාලාවක ඉගැන්වීමේ කටයුතු සහ රූපවාහිනි අභ්‍යාස ආයතනයේ වැඩකටයුතු කළා. ඊට අමතරව නිර්මාණ කටයුතු විදියට අලුතින් ටෙලිවිෂන් වැඩසටහන් කිහිපයක් ලියන්නත් පටන් ගත්තා.

අලුත් වැඩක් කරන්න යනවා කියලා ආරංචියි?

ඔව්, ටෙලිවිෂන් මාධ්‍ය පිළිබඳ පාඨමාලාවක් කරන්න සූදානම් වෙලා ඉන්නේ.

මෙහෙම වැඩක් පටන් ගන්න හිතුවේ?

හඬ කැවීම් අධ්‍යයනය කරන්න කිසිම තැනක් ලංකාවේ නැහැ. හුඟක් අය කැමැතියි පසුබිම් කථකයො වෙන්න, පිටපත් රචකයන් වෙන්න, නිවේදකයන් වෙන්න සහ වේදිකා නාට්‍යවල රංගනයේ යෙදෙන්න වගේ දේවල්වලට. ඉතින් එයාලා වගේම අපේ රටේ දූ දරුවනුත් වෙනුවෙන් තමයි මේ වැඩේ ආරම්භ කරන්න හිතුවේ. ව්ඍශ්‍රී තත්ත්ව පාඨමාලාවක් ලෙස මේ පාඨමාලාව ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

කවුද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන දේශකයන්?

ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි, ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න, ප්‍රවීණ මාධ්‍යවේදී ලුසිත ජයමාන්න වගේ ලංකාවේ විශේෂම දේශකයන් රැසක් මගෙත් එක්ක මේ කාර්යයට සම්බන්ධ වෙනවා. ඔවුන්ට මාධ්‍ය පිළිබඳ දැනුම සහ ඉගැන්වීමේ හැකියාව යන දෙකම තියෙනවා. ඒකයි මම ඔවුන් මේ කාර්යයත් එක්ක එකතු කරගත්තේ.

මොනවගේ වයස් කාණ්ඩවල අයටද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්?

සා/පෙළ විභාගය අවසන් කරපු අයට සහ එතැනින් ඉහළ වෘත්තීන්වල නිරත වන අයටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. පසුව සා/පෙළ මට්ටමින් පහළ අයටත් මේ පාඨමාලාව හදාරන්න අවස්ථාව දෙන්න හිතාගෙන ඉන්නවා. සමස්තයක් විදියට ඕනෑම කෙනකුට සම්බන්ධ වෙන්න පුළුවන්.

මේ පාඨමාලාව හදාරන්න මොනවගේ සුදුසුකම්ද තියෙන්න ඕන?

මෙහෙමයි, සමහරු කැමැතියි විෂයක් ලෙස මෙය ඉගෙන ගන්න. සමහර අය කැමැතියි වෘත්තියක් ලෙස තෝරගන්න. මේ සියල්ල අධ්‍යයනය කරන්න. ඉතිං කුසලතාව තියෙන ඕනම කෙනකුට මෙයට සහභාගි වෙන්න පුළුවන්.

කවදා කොහෙදිද, මේ පාඨමාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

මේක දැනට ආරම්භක මට්ටමේ තමයි පවතින්නේ. එයට එක්වෙන්න අවශ්‍ය අයට එකතු වෙන්න පුළුවන්. කළුබෝවිල, හත්බෝධිය පාරේ අංක 69 දරන ස්ථානයේ තමයි පන්ති පැවැත්වෙන්නේ.

මේ පාඨමාලාව කොච්චර කාලයක් හදාරන්න ඕනෙද?

මාස තුනක පාඨමාලාවකින් ආරම්භ කරලා එය දිගින් දිගටම පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මේ කර්තව්‍ය කරන්න ඔබට අවස්ථාව ලැබුණේ රූපවාහිනියෙන් ඉවත් වෙලා ලැබුණු නිදහස නිසාද?

නැහැ. ඇත්තටම එහෙ වැඩ කරද්දිත් මට මේක ආරම්භ කරන්න වුවමනාවක් තිබුණා. ගොඩක් අය ඒ වෙනකොටත් මගෙන් ඇහුවා, එයාලට මේ ගැන අධ්‍යයනය කරන්න ඉඩක් හදන්නේ නැද්ද කියලා. අනිත් එක කරන වැඩේ හරියට කරන්න ඕන කියන අදහස මං ළඟ කොහොමත් තිබ්බා. ඒ නිසා තමයි මේ කාලය ගත්තේ.

රූපවාහිනිය සමඟ තිබ්බ ගනුදෙනුව අතහැරලාම දැම්මද?

නැහැ. ජාතික රූපවාහිනිය සමඟ කිසිම ගනුදෙනුවක් අතහැරලා නැහැ. එයාලා සෑම උත්සවයකටම මට ආරාධනා කරනවා. එයාලා මොන උදව්ව ඉල්ලුවත් තාමත් මම ඒක කරනවා.

ඔබ මේ ක්ෂේත්‍රයට එකතු කළ පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගැන ඔබ සතුටු වෙනවාද?

ඔව්, සෑහෙන්න පිරිසක් ඉන්නවා. හුඟාක් මාධ්‍යවල ඉන්නේ අපෙත් එක්ක වැඩකරපු ගෝල බාලයෝ තමයි. මට ඉතිං ඔවුන් ඉන්න තැන ගැන සතුටුයි.

සමහරු හැදෑරීමක් නැතිව හඬ කැවීම් ක්ෂේත්‍රයට ඇතුළු වෙනවා. මේ ගැන මොකද ඔබ හිතන්නෙ?

ඒකෙ වැරැද්ද එයාලගෙ නෙවෙයි. එයාලට ඒ පිළිබඳ හදාරන්න හරි තැනක් තිබ්බේ නැති එක තමයි ප්‍රශ්නෙ.

වෙනත් මාධ්‍ය වලින් ඔබේ හැකියාව ඉල්ලුවේ නැද්ද?

ඉල්ලලා තියෙනවා. නාළිකාවක සේවයකට යන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් උදව්වක් ඉල්ලුවොත් මම ඒක කරනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon