මිල බැහිල්ලෙන් බැට කන ගම්මිරිස් ගොවියෝ

  👤  1765 readers have read this article !
Published by : MB WEB 2018-07-19 07:16:26

බොරලන්ද-සමන් නැදුන්ගමුව

ගම්මිරිස් අස්වනු මිල පහත වැටීම නිසා තමන් දැඩි ලෙස අසරණ වී ඇතැයි උෟවපරණගම ගම්පහ කෝරලයේ ගම්මිරිස් වගාකරුවෝ පවසති.

උෟවපරණගම, මස්පන්න, බඹරපාන, යාලගමුව ඇතුළු ගම්පහ කෝරලයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ගම්මිරිස් වගාවයි. පෙර වර්ෂවල මේ දිනවල ගම්මිරිස් කිලෝවක තොග මිල රුපියල් එක්දහස් තුන්සියයත්, එක්දහස් පන්සියයත් අතර මිලක පැවැති බවත් මේ වන විට ගම්මිරිස් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් හාරසියයත් පන්සියයත් අතර මිලක බවත්, ගම්මිරිස් ගොවීහු පවසති. ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත්ව පසුගිය වර්ෂයේදී ගම්මිරිස් සඳහා රුපියල් නවසියයක සහතික මිලක් පැනවුවත් එම මිල මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් ජනතාව කියති.

ප්‍රදේශයේ ගම්මිරිස් වගාකරුවකු වන ඩබ්ලිව්.එම්. ජයරත්න බණ්ඩා

ලංකාවේ ගම්මිරිස් පිටරටවල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කළු රත්රන් ලෙසයි. ඒ තරම් අපේ ගම්මිරිස්වලට විදේශ වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබුණා. මේ ඉල්ලුම නිසාම ගම්මිරිස් වගාවට ගොඩක් දෙනා යොමු වුණා. මේ උෟවපරණගම ගම්පහ කෝරලයේ ගම්මිරිස් වගාවට උචිත දේශගුණයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශවල සියයට අනූවකම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ගම්මිරිස් වගාවයි.

මේ මිල අධික ලෙස පහත වැටීමට හේතුව විදියට අපි දකින්නේ වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීමයි. වියට්නාමයේ ගම්මිරිස් අපේ ගම්මිරිස් තරම් උසස් ගුණයකින් යුක්ත නැහැ. ඒ නිසා අපේ රටේ ගම්මිරිස් කලවම් කරලා අපනයනය කිරීම නිසා විදේශීය වෙළෙඳපොළේ ප්‍රතික්ෂේප වෙන්න පටන් අරන්. ඒ නිසා අපිට කණකොකා හඬන්න පටන් අරන්. බලධාරීන් මේ සිදුවන දේට වහා මැදිහත් නොවුණහොත්
ශ්‍රී ලංකාවේ ගම්මිරිස් විදේශීය වෙළෙඳපොළෙන් ප්‍රතික්ෂේප වී විශාල විදේශ විනිමයක් අහිමි වීමත් ගම්මිරිස් ගොවියා ගම්මිරිස් වගාවෙන් අෑත් වීමත් වැඩි අෑතක නොමැති බවයි අපට කියන්න තියෙන්නේ.

ප්‍රදේශවාසියකු වන මානෙල් කුමාර රාජපක්ෂ
මේ ප්‍රදේශවල ජනතාව තම දෛනික ජීවිතය මෙන්ම අනාගතයේ සියලුම දේ සැලසුම් කරන්නේ මේ ගම්මිරිස් වගාවෙන් ලැබෙන ආදායම මතයි. මෙලෙස ගම්මිරිස් මිල පහතට වැටීම නිසා ඒ සියල්ල බිඳ වැටෙනවා. රජය විසින් ගම්මිරිස් ගොවියා ආරක්ෂා කරන්න කියලා සහතික මිලක් පැනෙව්වා. ඒ ගම්මිරිස් කිලෝවකට රුපියල් නවසියයකි. ඒත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පෙර වර්ෂවල ගම්මිරිස් කිලෝවක් රුපියල් එක්දහස් පන්සියයක් පමණ මිලකට අලෙවි වුණා. ඒත් දැන් රුපියල් පන්සියයකට ගම්මිරිස් කිලෝවක් දෙන්නත් විශාල උත්සාහයක් දරන්න ඕන. සහතික මිල වන රුපියල් නවසියයවත් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. මේ මිල පහත වැටීමත් එක්ක ගම්මිරිස් වගාවන් නඩත්තු කර ගන්නත් බැරිවෙලා ඉන්නේ ගොවීන් හට. මේ නිසා ගම්මිරිස් වගාවන් හා බැඳුණු රැකියාවන්වල නියැළුණු කම්කරුවන්ගේ රැකියාවන්ද අනතුරකයි තියෙන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ මේ අසරණ ගම්මිරිස් ගොවීන් රැකගන්න කඩිනමින් මැදිහත් වන ලෙසයි.

මේ ගැටලුව සම්බන්ධව උෟවපරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමින්ද සුදර්ශන මහතා මෙසේ පැවැසීය
උෟවපරණගම බොහෝ ජනතාවක් ගම්මිරිස් වගාවේ නියැළෙනවා. මේ මිල පහත වැටීම සම්බන්ධව ජනතාව මටත් පැමිණිලි කළා. මාව දැනුවත් කළා. මේ ආකාරයෙන් මිල පහත වැටීම මේ ගොවීන්ගේ මෙන්ම ඒ හා බැඳුණු රැකියාවල නියුතු කම්කරුවන්ගේ පවුල්වලටත් දැඩි ලෙස බලපානවා. ප්‍රදේශයේ ජනතාවට දැඩිව බලපා ඇති මේ ගැටලුව සම්බන්ධව මම කඩිනමින්

විෂය භාර ඇමැතිතුමා සම්බන්ධ කිරීමට කටයුතු කරනවා. ඒ වාගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම්වලදී සාකච්ඡා කර මෙයට විසඳුමක් දීමට ඇති හැකියාව සම්බන්ධව අදාළ අංශ දැනුවත් කරනවා. මේ ගම්මිරිස් මිලට යම් සාධාරණයක් ඉටු කර දීමට බලධාරීන්ට හැකි නොවුණහොත් පාරම්පරිකව මේ වගාවේ නියුතු වන විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමි වී යෑම වැඩි අෑතක නොවන බවයි මට හැඟෙන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon