පැල්මඬුල්ල ධර්මාලෝක නවෝද්‍යා පාසලේ අඩුපාඩු රැසක්

  👤  1732 readers have read this article !
Published by : MB WEB 2018-07-19 06:58:56

අටකලන්පන්නේ - තරිඳු උදයශාන්ත

ර/පැල්මඬුල්ල ධර්මාලෝක නවෝද්‍යා පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වන අඩුපාඩු රැසක් ඇතැයි මවුපියෝ පෙන්වා දෙති. ශිෂ්‍යයන් 3500ක් ඉගෙනුම ලබන මෙම පාසලේ 6 වැනි ශේ්‍රණිය සිට 11 වැනි ශේ්‍රණිය දක්වා දරුවන්ට ඇත්තේ පරිගණක යන්ත්‍ර අටක් පමණි. 12,13 වසරවල දරුවන් 600ක් සඳහා පරිගණක යන්ත්‍ර 6ක් පමණක් ඇති බැවින් දරුවෝ ඉතා අසීරුතාවකට පත්ව සිටිති. පාසලේ සමස්ත දරු දැරියන් සඳහා භාවිත කළ හැකි සම්පූර්ණ වැසිකිළි පද්ධති සංඛ්‍යාව හතරකි. මේ අතින් ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා භාවිත කළ හැකි වැසිකිළි පද්ධතියක් පමණක් පවතින හෙයින් සෞඛ්‍යමය වශයෙන්ද ගැටලු පැනනැඟී ඇති බව මවුපියෝ පෙන්වා දෙති.

චිත්‍ර විෂය තුළින් ලෝකයේද අවධානයට ලක්ව ඇති පැල්මඬුල්ල ධර්මාලෝක විද්‍යායේ චිත්‍ර ඉගෙන ගැනීම සඳහා පවතින පහසුකම්ද ඉතා පහළ මට්ටමක තිබේ. නර්තන විෂය තුළින්ද ජාතික මට්ටමේ ජයග්‍රහණ සෑම වසරකදීම හිමිකර ගත්තත් නර්තන විෂය හැදෑරීමට විද්‍යාලය තුළ පවතින ඉඩකඩ හා පහසුකම් ඉතා සීමිතය. පුස්තකාලය සඳහා ගොඩනැඟිලි සහ පොත් ප්‍රමාණයද ප්‍රමාණවත් නොවන බව දැනගැනීමට ඇතැයි මවුපියෝ පවසති. මීට සමගාමී පාසල් මේ වනවිට භාවිත කරන ස්මාර්ට් පන්ති කාමර වෙනුවට තවමත් පහන් දැළි සහ කෙසෙල් මුව ඉස්ම යොදා කළු කරන සිමෙන්ති බිත්තිය අපේ දරුවන්ට භාවිත කිරීමට වී තිබෙන බව මවුපියෝ පෙන්වා දෙති. එමෙන්ම ගොඩනැඟිලි රැසක්ම දිරාපත් වී ඇති අතර තද වැස්ස පවතින වෙලාවට දරුවෝ බොහෝ ප්‍රමාණයක් තෙමෙනවා යැයි මවුපියෝ පවසති. තාවකාලිකව රජයේ සැලැස්මකට අනුව ඉදිකළ ගොඩනැඟිලි කිහිපයක්ම මවුපියන්ගේ ආධාර මත කර ඇති හෙයින් ඒවා මේ වනවිට වහල මෙන්ම ‍ෙදාරවල් සහ දැල් අබලන් තත්ත්වයේ තිබේ. මෙවැනි තත්ත්වයන් මතද පන්ති කාමරවල ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් ඉක්මවා ඇත. පාසලේ පවතින අඩුපාඩු පිළිබඳව පාසල් සංවර්ධන කමිටු නිලධාරීන් හා ආදි ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ කළ සාකච්ඡාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

මෙම තත්ත්වය පිළිබඳව වත්මන් විදුහල්පති රංජිත් මලවිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ,
මම මේ පාසලට පැමිණ දැනට ගතව ඇත්තේ මාස කිහිපයක්. මේ කෙටි කාලයට මවුපියන්ගේ සහයෝගය ඇතිව විශාල පරිවර්තනයක් කළා. පන්ති මට්ටමින් දරුවන්ගේ මවුපියන් කොටස් වශයෙන් එකතු වූ බුදු මැඳුර, පාසල් පරිසරය, ජලය ලබාදීම වැනි වැඩකටයුතු කළා. පාසල් සංවර්ධන කමිටු නිලධාරීන් හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව පාසල ගැන මෙලෙස සොයා බැලීම පිළිබඳව ඉතා සතුටු වෙනවා.

රජය පාර්ශ්වයෙන් සියලුම අවශ්‍යතා පිරිමහන්න අපහසු බව අපි පිළිගන්න ඕන. තමාගේ දරුවාගේ පාසල දියුණු කරගැනීම මවුපියන් හා ආදි ශිෂ්‍යන්ගේද යුතුකමක් බවයි මා සිතන්නේ. අද වන විට වසර 124ක් පැරැණි මෙම විදුහල නව පරීක්ෂණයකට ලක්ව ඇති බව කාටත් පැහැදිලි කරුණක්. ඒ සඳහා සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා ඇතුළු ජේ‍යෂ්ඨ නිලධාරීන් මට විශාල ශක්තියක් ලබාදෙනවා. ඉදිරියේදී දැනට පවතින අඩුපාඩු සම්පූර්ණ කරගැනීමට ඔවුන් මට සහාය ලබාදේවි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon