මගේ ආදරය විඳින්න වාසනාවන්තයෙක් නැතුව ඇති

  👤  3895 readers have read this article !
Published by : MB WEB 2018-07-16 09:41:23

උදයන්ති මේ දවස්වල කාර්යබහුලද?

වැඩ ටිකක් කරනවා. සිරස නාළිකාවේ විකාශය වෙන මිණිගංදෑල ටෙලි නාට්‍යයේ 'සෙලෙස්තිනා'ගේ චරිතයට සම්බන්ධ වෙලා ඉන්නේ. නාට්‍යයේ කොටස් විස්සක් විතර ගියාම තමයි මගේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. ඊට අමතරව ධ්ඊව් නාළිකාවේ විකාශය වෙන 'අහිමි' ටෙලි නාට්‍යයේ චණ්ඩි කෙල්ලෙක්ගේ චරිතය සහ රාජ යෝගය ටෙලි නාට්‍යයේ චරිත නිරූපණ සඳහා රූගත කිරීම්වලට එකතුවෙලා ඉන්නවා.

උදයන්තිට විවිධ චරිත සඳහා ඇරයුම් ලැබෙනවා නේද?

ඔව්. මුල් කාලේ නම් පෙම්වතියගේ චරිතයට තමයි ගොඩක්ම ආරාධනා ලැබුණේ. ඕන කෙනෙක්ට තරුණ වයසෙදි ඒ වගේ චරිතවලට ආරාධනා ලැබෙනවා. නමුත් දැන් මට පෙම්වතියගේ චරිතයට කතා කරනවට වඩා චරිතාංග රංගනයට ආරාධනා ලැබෙනවා.

දැන් පුංචි තිරයෙදි උදයන්තිට පෙම්වතිය වෙන්න බැරිද?

තාමත් මට පෙම්වතිය වෙන්න පුළුවන්. හැබැයි පෙම්වතියගේ චරිතය කරන්න දැන් අවුරුදු 20, 21 තරුණ නිළියන් ඉන්නවා. මම නම් දැන් අම්මගේ චරිතය හරි කරන්න ලෑස්තියි.

ඒ කියන්නේ ලැබෙන ඕන චරිතයක් භාරගන්නවද?

මම නම් ප්‍රධාන චරිත බල බල කරන්නේ නෑ. මට හොඳ නිර්මාණයක එක සීන් එකක් කරන්න තිබ්බත් ඒක භාරගන්නවා.

පොඩි පොඩි චරිත කරන එක සමහරු හිතන්නේ මදිපුංචිකමක් විදියට. උදයන්තිට එහෙම හිතිලා නැද්ද?

නැහැ. හරියට කලාව ගැන දන්න කෙනෙක් එහෙම හිතන්නේ නෑ. වෙන රටවල ප්‍රධාන චරිත දහස් ගාණක් කරපු අය වුණත් සමහර වෙලාවට එක සීන් එකකට පෙනී හිටින්න මැළි වෙන්නේ නෑ. ප්‍රධාන චරිත තෝර තෝර හිටියොත් ගෙදරට කොටු වෙන්න තමයි වෙන්නේ. ප්‍රධාන චරිත කළේ නෑ කියලා තමන්ගේ වටිනාකම නැතිවෙන්නේ නෑ. හොඳ නිර්මාණයක මට යමක් කරන්න ලැබෙනවා නම් එක සීන් එකද දෙකද කියලා මම බලන්නේ නෑ. මගේ වෘත්තිය මේක. මම වයසට යනකල්ම ලැබෙන දේ කරනවා.

ඔබ ක්ෂේත්‍රයට ආපු කාලේ කළ රංගනයන් එක්ක බලද්දි අද ඔබේ රංගන හැකියාවේ දියුණුවක් වෙලා තියෙනවා කියලා හිතනවද?

ඔව්. අපි ක්ෂේත්‍රයට එද්දි කිසි දෙයක් නොදැන ආවේ. අධ්‍යක්ෂවරයා මතම තමයි අපි හිටියේ. ඔවුන් දෙන උපදෙස් මත රඟපෑවා මිසක් ලොකු අවබෝධයකින් රඟපෑවේ නෑ. දැන් ඊට වඩා අවබෝධයකින් රංගන කාර්යයේ නිරත වෙනවා. කොහොමත් වයසට යද්දි අත්දැකීම් එක්ක අපේ දක්ෂතාව දියුණු කරගන්න පුළුවන්.

පුංචි තිරයේ දකින්න ලැබෙන උදයන්ති සිනමාවේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්.
ඇයි ඒ?

අපේ රටේ නිෂ්පාදකවරු අඩුයි. අවුරුද්දකට චිත්‍රපට කිහිපයයි නිර්මාණය වෙන්නේ. ඉතිං අපිට අවස්ථා ලැබෙනවත් අඩුයි. වාණිජ චිත්‍රපටයකට නම් ළඟදි ආරාධනා ලැබුණෙම නැහැ. බර්මින් ලයිලි මහත්මයාගේ චිත්‍රපටයකට සහ භවතරණ කියලා චිත්‍රපටයකට සම්බන්ධ වුණා. නමුත් ඒ චිත්‍රපට තාම තිරගත වුණෙත් නැහැ. මැරෙන්න කලින් හරි හොඳ චිත්‍රපටයක් කරන්න ලැබෙයි. වෙලාව ආවම ලැබෙයි නේද බලමු ඉතිං.

උදයන්ති සරාගී නිළියක් වෙන්න කැමැතිද?

මම සරාගී කියනවට වඩා අහිංසක චරිතයක් වෙන්න කැමැතියි. සමහර නිළියන් සරාගී වෙන්න උත්සාහ කරනවා විවිධ දේවල්වලින්. නමුත් සරාගී කියන්නේ ඒක නෙවෙයි.

කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත්, නිරුවත් සරාගී පෙනුමක් උදයන්තිගෙන් බලාපොරොත්තු වුණොත්, ඒ අවස්ථා උදයන්ති භාරගන්නවද?

මම හරි ලෝබයි රඟපාන්න. ඒ වෙනුවෙන් කැප කිරීම් කරනවා. නමුත් මම අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක අසභ්‍ය දර්ශනවලට සම්බන්ධ වෙන්නේ නෑ. මොකද මේ ලංකාවනේ. ඇමෙරිකාව වගේ රටක නම් ඕනම එකක් කරන්න තිබ්බා.

වැඩවලදි උදයන්තිගේ ගාණ සැරයිද?

ගාණ නම් ටිකක් සැරයි. මම වැඩිය පේන්න නැත්තෙත් ඒ නිසා. මම නිර්මාණයකට අය කරන මුදල ගැන කිව්වම සමහරු ෆෝන් එක තියනවා. රංගනය කියන්නේ වඩේ විකුණනවා වගේ දෙයක් නෙවෙයි. මේක හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්. ඒ නිසා ඒ ගනුදෙනුවට අපිට වටිනාකමක් ලැබෙන්න ඕන.

මුදල අතහැරලා දාන තැන් ඇත්තෙම නැද්ද?

සමහර තරුණ පිරිසගේ හොඳ දෙයකට සහයෝගය දෙන්න ඕන වුණොත් මම මුදල් නැතුවත් රඟපාලා තියෙනවා. නමුත් ලාභ පරමාර්ථයෙන් කරන දෙයක් නම් මම මගේ වටිනාකම ඉල්ලනවා.

උදයන්තිට පුංචි තිරයේ වෙනස් වෙනස් අවස්ථා ලැබුණට මෑතකදී සම්මානනීය ඇගයුම් කිහිපයක්ම ගිලිහුණා නේද?

මට මුල් කාලයේ කුසලතා සම්මාන, නැඟී එන නිළියට හිමි සම්මානය වගේ සම්මාන කිහිපයක් ලැබුණා. හොඳම සහය නිළියට හිමි සම්මානය වෙනුවෙන් තුන් වතාවක් නිර්දේශ වුණා. හොඳම නිළිය සම්මානයටත් නිර්දේශ වුණා. ඒත් සම්මාන නම් ලැබුණේ නෑ. මට වඩා දක්ෂ, ප්‍රවීණ ශිල්පිනියන් එක්ක නිර්දේශ වෙන්න ලැබීමත් මට සතුටක්. හොඳ චරිත ලැබුණොත් දවසක මගේ දක්ෂතාවට සම්මානනීය ඇගයීමක් ලැබෙයි. හොඳ චරිත ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. රඟපාලා ඉවර වෙලා සම්මාන ගමු.

වාසනාව මත ලැබෙන දේවල් ගැන උදයන්ති විශ්වාස කරනවාද?

වාසනාව මතත් සමහර අවස්ථා ලැබෙනවා. සමහර අය රඟපාන චරිත දැක්කම අපිටත් ඒ වගේ චරිතයක් ලැබුණා නම් හොඳට රඟපාන්න තිබුණනේ කියලා හිතෙන අවස්ථා තියෙනවා. වාසනාවට කියලා මට ඉතිං ලැබුණේ රඟපාන්න ලැබුණ අවස්ථාව තමයි.

වාසනාව නිසා ඔබට වෙන කිසිම දෙයක් ලැබිලා නැද්ද?

වාසනාවට වඩා අවාසනාව මතම වෙච්ච දේවල් තමයි මගේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ. වාසනාවට ලැබුණේ රංගනය තමයි.

කලකිරීමෙන්ද කතා කරන්නේ?

කලකිරීමක්ම නෙවෙයි. මට දැන් ජීවිතේ හැම දෙයක්ම හුරුයි. ගහන්න ගහන්න රිදෙනවා දැනෙන්නේ නෑ. මාව මරලා දැම්මත් මට දැන් දැනෙන්නේ නෑ. ජීවිතය ගැන ලොකුවට බලාපොරොත්තුවක් නෑ. හැම දෙයක්ම විඳලා බැනුම් අහලා, මඩ කාලා තව මොනවා වෙන්නද කියලා වෙලාවකට හිතෙනවා. ලබපු අත්දැකීම් එක්ක දැන් කිසි දෙයක ගානක් නෑ.

ජීවිතයේ බලාපොරොත්තු එහෙම අතහැරලා දාන්න පුළුවන්ද?

ඇත්තටම දැන් හැමදේම අතහැරලා දාලා තියෙන්නේ. වාසනාවට තවම මට සිත් ගන්නාසුලු රූපයක් තියෙනවා. මගේ හැකියාවෙන් නිර්මාණයකට දායක වෙලා එදිනෙදා වැඩ ටික කරගෙන චිත්‍රපටයක් බලලා, පොතක්පතක් කියවගෙන ජීවත් වෙනවා.

උදයන්තිගේ ජීවිතයට දැන් විශේෂ කවුරුත් එකතු වෙලා නැද්ද?

ජීවිතයට කවුරු හරි එකතු කරගෙන සුන්දරව ජීවත් වෙන්න කියලා හිතුවත්, ඒවටත් මොකක් හරි වෙනවා.

ආදර යෝජනා නම් ඕන තරම් එනවා ඇතිනේ?

ආදර යෝජනා නම් එනවා. නමුත් ගොඩක් බොරුකාරයෝ වැඩියි. සමාජයට පේන්න, ලෝකයට පේන්න ආදරය කරන අය තමයි ඉන්නේ. ඒ අයට සමාජය අපි ගැන කියන දේවල් පහදන්න බෑ. අපි ගැන සමාජය කියන දේවල් ඒ අය අපිට ඇවිත් කිව්වම ඔළුව අවුල් වෙනවා. දුක හිතෙනවා. ඒ නිසා ඒ දේවල්වලින් අෑත්වෙලා ඉන්නවා. සමාජයට ඕන විදියට නෙවෙයි. මට ඕන විදියට ඉන්න කෙනෙක් ඕන. සමහරු රංගන ශිල්පිනියන්ට වෘත්තීය පිළිගැනීම දෙන්න කැමැති නෑ. ආදර සම්බන්ධයක් ගොඩනැඟුණත් ඒ සම්බන්ධය නැති කරන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නෙ. ඕක මට විතරක් නෙවෙයි අනෙක් අයටත් බලපාලා තිබෙනවා.

හැබැයි උදයන්තිට පෙම්වතෙක් ඉන්නවා කියලා බොහෝ අය හිතනවා?

මට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඇති කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ලංකාවේ ඉන්නේ සෝබනයට කැමැති අය. ජීවිතය විඳින්න කැමැති නෑ. සමාජයට ඕන විදියට තමයි ජීවත් වෙන්න බලන්නේ. මට සාමාන්‍යයෙන් ෆෝන් කෝල්ස්වත් එන්නේ නෑ. ඒත් ගොඩක් අය හිතනවා මට බෝයිස්ලා ඉන්නවා කියලා. මම ෂූටින් ගියත් ෆෝන් ඕෆ් කරලා ඉන්නේ. සාමාන්‍ය අය එක්ක බලද්දි අපි ගොඩක් හොඳයි.

උදයන්තිට තාමත් තරුණයන්ගේ ආකර්ෂණය තියෙනවනේ. ඉතිං කෙනෙක් තෝර ගත්තොත් හොඳ නැද්ද?

තාමත් මට ඉස්සර වගේම තරුණයන්ගේ ආකර්ෂණය තියෙනවා. මේ ළඟදී මම බර්ත් ඩේ පාර්ටි එකකට ගියා. එතනදි තරුණ අයගේ ආකර්ෂණය මට තියෙනවා කියලා දැනුණා. ඉස්සර නම් මම දඟයි. කොල්ලෙක් දැක්කොත් අවුස්සලා තියනවා. ඒත් දැන් කවුරු හරි මං දිහා බලනවා කියලා දැනුණත් හැඟීම් දැනුණත් මම පාඩුවේ ඉන්න තමයි උත්සාහ කරන්නෙ. මම ආදරයට හරිම ආදරෙයි. හැබැයි මගේ ආදරය විඳින්න වාසනාවන්තයෙක් නැතුව ඇති.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon