බලපෑම්වලට යෝජනාවලට මම අහුවෙන්නේ නෑ

  👤  2399 readers have read this article !
Published by : MB WEB 2018-07-15 12:13:07

තරින්දි මේ දවස්වල කාර්යබහුලයි වගේ?

ඇත්තටම 'පැහැසරා' ටෙලි නාට්‍ය ඉවර වුණු ගමන් ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. මේ දවස්වල දෝන කතිරිනා, දංකුඩ බණ්ඩා, නේත්‍රා කියන ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ දැන් තරින්දිට වැඩ ජයයි?

ඔව්. වැඩ නම් ටිකක් ජයයි. මම අවුරුදු එකහමාරක් විතර ලොකුවට වැඩ භාර ගත්තේ නැහැ. ඒත් පැහැසරා ඉවර වුණාට පස්සේ වැඩ කිහිපයක්ම භාරගත්තා.

තරින්දිට එකකට එකක් වෙනස් චරිතවලින් හැකියාව පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා?

ඇත්තටම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ ළමයි එක්ක දඟ වැඩ කරන පිස්සු නටන ටීචර් කෙනෙක්ගේ චරිතයක්. නේත්‍රා ටෙලි නාට්‍යයේ සුභද්‍රා කියන්නේ අංගම්පොර සටන් දන්න දූ කුමාරිහාමි කෙනෙක්. දෝන කතිරිනා නාට්‍යයේ දෝන මාගරිටාගේ චරිතයත් වෙනස්. මේ වගේ එකකට එකක් වෙනස් චරිත ලැබෙන්න තරම් මම වාසනාවන්තයි.

අංගම්පොර සටන් හැකියාවක් තරින්දිට කලින් ඉඳලා තිබුණාද?

නැහැ, මම අංගම්පොර සටන් කරලා තිබ්බේ නෑ. ඒත් මට දෙයක් කියලා දීපු ගමන් මට ඒක අල්ලගන්න පුළුවන්.

අධ්‍යක්ෂවරු නේද ඔබේ හැකියාව වෙනස් වෙනස් විදියට එළියට ගන්නේ?

මගේ දක්ෂතාව ඔවුන් දැක්ක නිසා වෙන්න ඇති මට වෙනස් වෙනස් චරිතවලට ආරාධනා කරන්නෙ. මාව ඕන චරිතයකට වෙනස් කරන්න පුළුවන්.

මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතය වෙනුවෙන්ද?

හැම චරිතයකටම එක හා සමානව ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි පැහැසරා නාට්‍යයේ උපමාලිට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. මම කරන හැම චරිතයක් වෙනුවෙන්ම ලැබෙන්නේ එකකට එකක් වෙනස් ප්‍රතිචාර.

පුංචි තිරයේ නිරූපණය කරන චරිතවලින් තරින්දිගේ සැබෑ ජීවිතයට වඩාත්ම කිට්ටු චරිතය මොකක්ද?

මගේ සැබෑ ජීවිතයට ඒ හැම චරිතයකම දේවල් ගෑවිලා තියෙනවා. අවශ්‍ය වෙලාවට මම ආඩම්බරයි. හැබැයි මම හැමතැනකම ආඩම්බරකම් පාන්න යන්නේ නෑ. ඒ වගේම මට ෆයිට් කරන්නත් පුළුවන්. ඒ වගේම මම දඟ, පිස්සු නටන චරිතයක්. අහිංසකකමත් තියෙනවා. මම ඒ ඒ තැනට අවශ්‍ය විදියට හැසිරෙනවා.

පුංචි තිරයේ ජයටම අවස්ථා ලැබෙන තරින්දිව තාමත් සිනමාවේ දකින්න ලැබුණේ නෑනේ?

මම ක්ෂේත්‍රයට එන්නෙත් චිත්‍රපටයකින්. ඒ 'භරතලි' චිත්‍රපටය. නමුත් ඒ චිත්‍රපටය තාමත් තිරගත වුණේ නැහැ. ඊට පස්සේ 'රාක්ෂා' කියලා චිත්‍රපටයක රඟපෑවා. ඒකත් තාම තිරගත වුණේ නැහැ.

රංගනයෙදි සීමා දාගෙනද වැඩ කරන්නේ?

ඔව්, මම විවිධ චරිත කරන්න කැමැතියි. නමුත් ගැහැනු ළමයෙක් විදියට මට සීමා තිබෙනවා. ඒවා මම මටම දාගත්ත සීමාවන්.

ක්ෂේත්‍රයට එන රංගන ශිල්පිනියන්ට ක්ෂේත්‍රයේම සමහරුන්ගෙන් අයුතු යෝජනා බලපෑම් එනවලු. තරින්දිටත් එහෙම බලපෑම් ඇවිත් තියෙනවද?

ඇත්තටම මමත් ඔය දේවල් කලින් විශ්වාස කළේ නැහැ. ඒ කතා කටකතා කියලා මම හිතුවේ. ඒත් මටත් ඒවගේ බලපෑම් ආවා. මම මේ ක්ෂේත්‍රයට ආවේ දක්ෂ නිළියක් වෙන්න. ඉතිං මගේ අරමුණට යද්දි ඔය බලපෑම්වලට යෝජනාවලට මම අහුවෙන්නේ නෑ. මම හිමින් ගමනක් යනවා. මට හදිසියක් නැහැ.

තරින්දි වැඩිබර තියන්නේ පුංචි තිරයටද?

මම පුංචි තිරයට වගේම සිනමාවටත් ආසයි. සිනමාවේ වුණත් හොඳ අවස්ථා ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ක්ෂේත්‍රයට දවසින් දවස නිළියන් එකතු වෙනවා. ඒ අතර තමන්ගේ තැන හදාගන්න තරින්දිට අපහසු වෙන එකක් නැද්ද?

අරමුණක් ඇතුව මේ ක්ෂේත්‍රයට ආවොත් ක්ෂේත්‍රයේ රැඳෙන්න බැරි නැහැ. ට්‍රෙන්ඩ් එකට ගියොත් තමයි මඟදි හැලිලා යන්නේ. මට ඉස්සරහට යන්න අරමුණක් තියෙනවා. ඒ නිසා මට පවතින්න අපහසු වෙන එකක් නැහැ.

ඔය අරමුණ ඇතුළේ සම්මානනීය බලාපොරොත්තුවකුත් ඇති?

සම්මානයක් ගන්නවාමයි කියලා දෙයක් නැහැ. සම්මානයක් ගන්න ආසයි. නමුත් සම්මානයකින් මගේ ගමන නිම කරන්න බැහැ.

තරින්දි සැබෑ ජීවිතේදි ආදර කතාවක පැටලිලාද?

තාම නැහැ.

ක්ෂේත්‍රයේ කෙනෙක් ආදරය ඉල්ලුවොත්?

ආදර යෝජනා ඇවිත් තියෙනවා. මට ක්ෂේත්‍රයෙද පිටද කියන එක අදාළ නැහැ. මගේ හිතේ ඉන්න කෙනා යාළු වෙන්න ඇහුවොත් කැමැති වෙනවා. හැබැයි තාම එහෙම කෙනෙක් ලැබුණේ නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප - අමිත තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon