රන්වල බළකායෙන් ගී ලොවට පෑයූ තාරක

  👤  1574 readers have read this article !
Published by : MB WEB 2018-07-14 17:24:33

තාරක අලුත් වැඩක් කළා කියලා ආරංචියි?

අලුත් වැඩක් කියන්නේ රූපවාහිනියේ විකාශනය වෙන කිරිල්ලියෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් ගයපු තේමා ගීතය රිලීස් කළා. සිතුමිණි මැද්දේගොඩගේ පද රචනයට, සංගීතය නිර්මාණය කළේ සදීප්ත ගුණවර්ධන. මගේ තව ගීතයක් එන්න තියෙනවා. ගීතය ලියලා දුන්නේ ශලිනි තාරකා. සංගීතවත් කළේ පසන් ලියනගේ.

රාත්‍රිය මනරම් කියා ගීතයෙන් තමයි රසිකයෝ ඔබව වැලඳගත්තේ?

ඔව්. ඒ ගීතයෙන් තමයි බොහෝ දෙනෙක් මාව අඳුනගත්තේ. ගීතය ගැන කිව්වොත් ගීතයේ පද රචනය කළේ සුසන්ත දන්දෙණිය ගමගේ මහත්තයා. මෙලඩි එක දාලා කම්පෝස් කළේ තරිඳු ප්‍රියංකර සහෝදරයා. සංගීතවත් කළේ පසන් ලියනගේ. ඒ වගේම ලක්මිණ, ගිහාන්, සදීප්ත අයියලාවත් මතක් කරන්නම ඕන. ගීතයට තවමත් ප්‍රතිචාර ලැබෙනවා. සතුටුයි ඉතින් ඒ ගැන.

මේ දවස්වල කෙරෙන අලුත් වැඩකටයුතු මොනවාද?

විශේෂයෙන් ලොකු වැඩ කොටසක් කෙරෙන්නේ නෑ. සහන් රන්වලයන් ප්‍රමුඛ රන්වල බළකාය සමඟ රට පුරා විවිධ සන්දර්ශන මෙන්ම දේශනවලට සහභාගි වෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා. පසුගිය කාලයේ දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා රන්කිරි අම්මා කියලා. ළඟදීම ඒකත් විකාශනය ආරම්භ කරයි.

ගායන ශිල්පියෙක් විදියට හඳුනාගත්ත ඔබ රංගන ශිල්පියෙක් විදියට රසිකයන් අතරට එන්න හිතුවේ?

ගායනය, රංගනය, නර්තනය සියල්ලම මට ලැබෙන්නේ 2012 වසරේ රංවල පදනමට සම්බන්ධ වීම හරහා. මගේ ප්‍රථම ටෙලිනාට්‍ය රවිÂද්‍ර විජේරත්න මහතා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍ය. සඳුන් රාජකරුණාගේ ආදර වැස්සක් ටෙලි නාට්‍යට වගේම දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අලුත් ටෙලිනාට්‍යට සම්බන්ධ වුණේත් රංවල පදනම හරහා. ප්‍රාසංගික ශිල්පියෙක් විදියට ගායනය, රංගනය, නර්තනය සියල්ල එක්ක රසිකයන් අතරට එක්වීමට ලැබීම සතුටක්.

තාරුකට කලා හැකියාව පවුලෙන් ලැබිච්ච ආභාසයක්ද?

පවුලෙන් ලැබුණු ආභාසයක් කියන්න පුළුවන්. මගේ අම්මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සංගීත ආචාර්යවරියක්. ඉතින් පොඩි කාලේ ඉඳන් සංගීතය ඇසුරේ හිටියේ. ඒ ඇසුර, ඒ ආශාව එක්ක දැකපු හීනයක් තමයි හැබෑ කරගෙන යන්නේ.

ඔබ සංගීතය හදාරනවත් ඇති?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ මානවවංශ සංගීත විද්‍යා අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබනවා. ජන සංගීතය තමයි එහිදී මූලික වශයෙන් හදාරන්නේ.

ඔබ ගායන හැකියාවට ඇගැයීම් ලද කෙනෙක්?

ඔව්. මම 2011 වසරේ සමස්ත ලංකා තුන්වැනි ස්ථානය, 2013 වසරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකරගත්තා වගේම 2015 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දක්ෂතම, ප්‍රශස්තම ගායකයන් තිදෙනා අතරට එක්වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

දේශීය සංගීතය හැදෑරීමත් එක්ක අලුත් වැඩක් කරන්න අදහසක් නැද්ද?

ප්‍රාසාංගික ශිල්පියෙක් විදියට ජන සංගීතයෙන් පෝෂණය වෙච්ච නිර්මාණ තමයි ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නේ. ජාත්‍යන්තරයට රැගෙන යෑම සඳහා නව සංකල්ප, නව නිර්මාණ බිහි කිරීම තමයි මගේ අරමුණ. ඉදිරියට ඒ හීන හැබෑවෙයි.

අධ්‍යාපන කටයුතුත් එක්ක බාහිර වැඩවලට සම්බන්ධ වෙන්න තාරකට වෙලාව තියෙනවද?

බොහෝ වේලාවට සති අන්තයේ තමයි සන්දර්ශනවලට සහ දේශනවලට සම්බන්ධ වෙන්නේ. අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙන්න අනෙක් බාහිර වැඩකටයුතුවලට සම්බන්ධ වෙනවා.

සඳට තරුවට කවි ලියලා තාරුක තනියමද හිත හදාගන්නේ දැන්?

කාලයක් තිබුණා එහෙම හිත හදාගත්ත. දැන් එහෙම නෑ.. දැන් හිත හදාගන්න දෙයක් නෑ.

ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරේ කිරීම කියන්නේ කැප කිරීම සහ පරිත්‍යාගය. මම දකින විදියට තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන්න පුළුවන් නම් සහ විශ්වාසය තියෙනව නම්, සරලවම ආදරය කියන්නේ ඒකට කියන එකයි මගේ අදහස.

ආපු ගමන් මඟ සහ විශේෂයෙන් මතක් කරන්න පිරිසකුත් තාරකගේ ජීවිතේ ඇති නේද?

අනිවාර්යයෙන්ම. අම්මා, තාත්තා වගේම පවුලේ අය ලොකු සහයෝගයක් දෙනවා. සහන් රන්වල ගුරුතුමා වගේම රෙඩ් ෆොක්ස් ස්ටූඩියෝ එකේ පසන් ලියනගේ ඇතුළු කාර්ය මණ්ඩලය වගේම අපේ පාසලේ ගුරුවරු, විශ්වවිද්‍යාලයේ සහෝදරයන් වගේම තීක්ෂණ සහෝදරයත් මතක් කරන්නම ඕනේ.

නිශාන්ත ෆර්නෑන්ඩු

ඡායාරූපය - සසඳ ලියනාරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon