යටිතල පහසුකම් නැතිකමින් මාදිපොළ බෝමේරුව වත්තේ පවුල් 35ක් දුකසේ බලධාරීන්ට කීවා: ඒත් ප්‍රතිචාරයක් නෑ

  👤  1599 readers have read this article !
Published by : MB WEB 2018-07-12 06:17:31

ගලේවෙල-තිලක් පල්ලේගෙදර

පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදිපොළ බෝමේරුවවත්තේ ලයින් කාමරවල ජීවත්වන පවුල් 35ක් පමණ යටිතල පහසුකම් නොමැතිව ඵීඩාවට පත්වී සිටිති. තමන්ට ඇති ගැටලු පසුගිය කාලයේ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට දැනුම් දුන්නත් මේ වන තෙක් ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බව ඔවුහු පවසති. පසුගියදා එම ප්‍රදේශය සංචාරයක නිරත වූ අපට ඔවුන් කිහිපදෙනෙක් අදහස් දැක්වූයේ මෙසේය.

එම්. සෙල්වකුමාර් මහතා (48)

මම ළමයින් දෙන්නෙක් සමඟ මේ ලයින් කාමරවල ජීවත් වෙනවා. අපි පානීය ජලය ලබා ගන්නේ අහල පහළ නිවෙස්වල ළිංවලින්. ඇතැම් අය වතුර ගන්නවාට කැමැති නෑ. ඒ නිසා පවුල් 35ම පානීය ජලය නැතිව පීඩාවට පත්වෙලා. අපි නෑමට යන්නේ වත්තේ අසල පිහිටි වැවටයි. එහි මිනිසුන් හා හරකුන් දෙගොල්ලම අපිරිසුදු ජලය නානවා. ජලසම්පාදන යෝජනා ක්‍රමයක් ලබාදෙන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.

එස්. වල්ලිඅම්මා මහත්මිය (75)

අපි ජීවත්වන ලයින් කාමරවල වහලට සෙවිලි කර තිබෙන්නේ තහඩුයි. ඒවා දිරාපත් වෙලා. වසර තිහ හතළිහකින් විතර අලුත්වැඩියා කර නෑ. වහිනකොට තෙමෙනවා. ඇතැම් අය කුලී වැඩ කරලා ගත් මුදල්වලින් තහඩු මිලට ගෙන වහල අලුත්වැඩියා කරගෙන තිබෙනවා. ඡන්ද කාලෙට අපේක්ෂකයෝ ඇවිත් අපේ ප්‍රශ්න විසඳනවා කියා යනවා. ඊට පස්සේ පැත්ත පළාතේ එන්නේ නෑ.

ජී. රත්නරාජා මහතා (52)

මේ වත්තේ අතැම් අය අවුරුදු 100කට ආසන්න කාලයක් ජීවත් වෙනවා. මේ වත්ත කලින් අයිතිව තිබුණේ රජයටයි. ඊට පසුව පෞද්ගලික අංශයට දුන්නා. ටික කාලයකින් අපේ රැකියා නැති වුණා. අපි දැන් ජීවත් වෙන්නේ කුලී වැඩ කරලයි. අලුත්වැඩියාවක් කර නැති නිසා ලයින් කාමර හොඳටම අබලන් වෙලා. බිත්ති ඇද වෙලා. ඇතැම් බිත්තිවලට මුක්කු ගහලා. වැස්සට තෙමෙනවා. වැසිකිළි අබලන් වෙලා. කෝවිලත් අබලන් වෙලා. හැම රජයකටම කීවත් විසඳුමක් නෑ. වතු යටිතල පහසුකම් ඇමැතිවරු හිටියත් අපි ඉන්නවද මැරුණද කියලා හොයන්නෙ නෑ. ඒ නිසා අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

දශක 10කට ආසන්න කාලයක් මූලික පහසුකම්ද නොමැතිව බෝමේරුව වත්තේ ජීවත් වෙන මෙම දමිළ පවුල් ගැන දේශපාලනඥයන් හා නිලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමු නොවීම කනගාටුව කරුණකි. ඔවුන්ගේ ජන ජීවිතයට බාධා වී ඇති මෙම ගැටලුව විසඳීමට දැන්වත් වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගත යුතුව ඇත.
මේ පිළිබඳ පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.එම්. ආනන්ද මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ බෝමේරුව වත්තේ දමිළ පවුල්වල ගැටලු ගැන තමන්ට අවබෝධයක් ඇති බවත් ඒවා විසඳීමට රජයෙන් මුදල් ලැබුණු වහා සුදුසු පියවර ගන්නා බවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon