කෝමාරික ගොවි ජනපදයට පාරක් නැතිව විඳින දුකක්

  👤  1875 readers have read this article !
Published by : MB WEB 2018-07-11 06:55:09

මීගහකිවුල - රුවන් කුමාර

කෝමාරික ගොවි ජනපදයේ ප්‍රධානතම හා එකම සැපයුම් මාර්ගය වන මීගහකිවුල-අතුරුඇළ ප්‍රධාන මාර්ගය දැඩි සේ අබලන්ව ඇතැයි එම මාර්ගය පරිහරණය කරන්නෝ පවසති.
මේ හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අකුරුකඩුව, පාලාවත්ත, පිඹුරාඋල්පත ආදී ගම්මානවල මෙන්ම කෝමාරික ගොවි ජනපදයට අයත් ගම්මාන රැසක පවුල් 3,000ක් පමණ විවිධ ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණදී සිටිති.

ඩී.එම්. විජේරත්න
කෝමාරික ගොවි ජනපදය කියන්නේ පවුල් දහස් ගාණක් ජීවත් වන ගොවි ජනපදයක්. කිලෝමීටර් 10ක් විතර දිග ඇළ මාර්ගය දෙපැත්තේ වගේම අතුරු ඇළ මාර්ග දෙපසත් විශාල පිරිසක් ජීවත් වෙනවා. මේ ජනගහනය පවුල් 3,000කට වැඩියි.

ඩී.එම්. කුසුමාවතී
මේ ගොවි ජනපදය ආරම්භ කර අවුරුදු 100කටත් වැඩියි. හැබැයි තාමත් මේ ජනපදයේ ගම්වලට එන්න හරියට පාරක් නැහැ. අකුරුකඩුව හන්දියේ ඉඳල ඇළ ළඟට තියෙන කිලෝමීටරයක විතර පාර තාර දාල හදල තියෙනවා. ඉතිරි කොටස තාමත් ගුරු පාරක්.

ඩී.එම්. උක්කුබණ්ඩා
ගල් තාර දාපු පාර වගේම ගුරු පාරත් හොඳටම අබලන් වෙලා. තාර දාපු කොටසේ ඔක්කොම ගල් ගැලවිලා. හැම තැනම වළවල්. මේ පාරේ කවදාවත් බස් එකක් ඇවිත් නැහැ. එන්නත් බැහැ. ඒ වුණාට හැමදාම මාර්ගයට ඔරොත්තු නොදෙන තරමේ ගල්, ගඩොල් සහ වැලි පටවපු විශාල ප්‍රමාණයේ ලොරි රථ නිතර නිතර යනවා. ඒ නිසාම පාර හැම තැනම කැඩිල. කොච්චර හැදුවත් වැඩක් නැහැ.

ඩී.එම්. පැතුම්
මේ පාරේ කිසිම පොදු ප්‍රවාහන සේවයක් නැහැ. මේ ගම්වල අය හැතැප්ම තුන හතරක් පයින් ඇවිත් තමා මීගහකිවුල නගරයට යන්න ඕනි. මේ ගම්වල අයට ඉගෙන ගන්න පාසලක් තිබුණත් පහසුකම් නැහැ. කොහොමත් පහේ පන්තිය පාස් වුණාම මීගහකිවුලට එන්න ඕනි.
මේ ගම්වල ළමයි උදේ හ වස මේ අබලන් පාරේ පයින් ඇවිත් තමයි ඉගෙන ගන්නේ. වැඩිහිටි අයත් එහෙමයි. යතුරුපැදි ත්‍රීවීල් තියෙන කීපදෙනෙක් විතරක් ඒ වාහනවල යනව. හැබැයි ඉතින් පාර කැඩිල නිසා ඒ අයත් හරි අමාරුවෙන් තමා පාරේ යන්නේ.

ඩී.එම්. සෝමාවතී
මේ ගම්වල හුඟදෙනෙක් ජීවත් වෙන්නේ හේන් කුඹුරු රස්සාවෙන්. හුඟදෙනෙක් ජීවත් වෙන්නේ ඒ අස්වැන්න විකුණල. හැබැයි අමාරුවෙන් හරි ගොවිතැනක් කරල ගන්න අස්වැන්න නගරයට ගෙනිච්චොත් තමයි මිලක් ලැබෙන්නේ. ඒත් ඉතින් මේ නිෂ්පාදන ටික නගරයට ගෙනියන්න ක්‍රමයක් නැති නිසා අතරමැදියො එකතුවෙලා ඒ ලාබෙ බෙදා ගන්නව.

මේ ව්‍යාපාරේ ඉන්න බහුතරය අහිංසක ගොවියො. ඒ වගේම කිසිම දේශපාලන හෝ ආර්ථික හයියක් නැති මිනිස්සු. ඒ නිසා මේ මිනිස්සු කියන දෙයක් කවුරුත් ගණන් ගන්නේ නැහැ. මේ මිනිස්සුත් පාරවල් වහල, පොදු දේපළ විනාශ කරල උද්ඝෝෂණ කළා නම් පාර හදල දෙයි.

ඒ නිසා අපි ඉතාම කරුණාවෙන් මේ රට කරන අයට කියන්නේ මේ පාර පුළුවන් විදියට හදල උදේටයි හවසටයිවත් බස් එකක් දාල දෙන්න කියලයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon