ඔලිම්පික් සිහින දකින දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උස පැනීමේ ශූරිය

  👤  1375 readers have read this article !
Published by : MB WEB 2018-07-11 09:11:20

හිරියාල - කේ.පී. සුනිල්

පසුගියදා කොළඹදී අවසන් වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී කාන්තා උස පැනීමේ තරගයේ රිදී පදක්කම හිමිකර ගත් ඇය ඔලිම්පික් පදකක්මක් මවුබිම වෙත රැගෙන ඒමේ සිහිනය දකිමින් සිටින්නීය. ඉෂාරා නෙත්මිණි පල්ලේගම නම් ඇය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබමින් සිටින ළාබාල ක්‍රීඩිකාවකි. ඉෂාරා දැරිය දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා උස පැනීමේ තරගයට සහභාගි වූ අතර එහිදී මීටර් 1.65ක් උස පනිමින් රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් වූවාය.

මෙම තරගයේ රන් පදක්කම ඉන්දියානු ක්‍රීඩිකාව හිමිකරගත් නමුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ තවමත් 15 වැනි වියේ පසුවන ඉෂාරා රිදී පදක්කම හිමිකර ගෙන ඇත්තේ අවුරුදු 18-19 තරම් වයස් මට්ටමේ පසුවූ ප්‍රතිවාදිනිය සමඟ තරග කිරීමෙන් බවය. ගිය වසරේ (2017) සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇති ඉෂාරා මෙම වසරේ පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 1.71ක් උස පනිමින් නව වාර්තාවක්ද පිහිටුවා ඇති බව ඉෂාරාගේ පාසලේ පුහුණුකරු වන සුමේධ ජයකොඩි මහතා පැවසීය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මීට වසර 10කට පෙර ප්‍රියංගිකා මදුමාලි නම් ක්‍රීඩිකාව මීටර් 1.85ක් උස පනිමින් තබා ඇති ජාතික වාර්තාව ඉක්මවීමට ඉෂාරා නෙත්මිණිට හැකියාව ඇති බවය. එසේම ක්‍රමානුකූල පුහුණුවක් ලබා දෙන්නේ නම් ඇයට ඔලිම්පික් ජයග්‍රහණයක් හිමි කර ගැනීම අසීරු නොවන බවද සුමේධ ජයකොඩි මහතා විශ්වාසය පළ කරයි. ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද එකසේ දස්කම් දක්වන ඉෂාරා ගමේ පාසලේ සිට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175ක් ලබා ගනිමිනි.

ක්‍රීඩාවේ නිරත වන අතරම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳින් සමත්ව ගණිත හෝ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සිය අනාගත අපේක්ෂාව බව ඉෂාරා පවසයි. පාසලේ ක්‍රීඩා පුහුණුකරු සුමේධ ජයකොඩි මහතාගෙන් හා විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය වෙතින් ලැබෙන අනුග්‍රහය මෙම ජයග්‍රහණ සඳහා දායක වූ බව ඉෂාරා ස්තුති පූර්වකව සඳහන් කරයි. එසේම මව වන ජේ.ඒ. සුමනාවතී මහත්මියගේ හා පියා වන පී.පී. රත්නායක මහතාගේ කැපවීම තමන්ට ඇති විශාලතම ශක්තිය බව ඇය කියයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon