ටොෆි කාලා දඩ කාපු දෙදෙනාම අයි.සී.සී. යෙන් විමසීමට යති

  👤  1133 readers have read this article !
Published by : MB WEB 2018-07-09 14:03:27

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ලබන බ්‍රහස්පතින්දා (12දා) ගාල්ලේදී ඇරඹීමට නියමිත අතර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හා දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි දෙදෙනාම පවසන්නේ තරගයක් පැවැත්වෙන අතරතුර ටොෆි වැනි පැණි රස කෑම භාවිතය සුදුසු ද හෝ නුසුදුසු ද යන්න දැනට වඩා පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බවයි.

තරගාවලිය ඇරඹීමට පෙර ඊට අදාළව පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නායකයන් දෙදෙනා විසින්ම මෙම ප්‍රශ්නය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත (අයි.සී.සී.) යොමු කළ අතර පැණි රස කෑමෙන් පසුව ඉන් මතුවෙන කෙළ ස්‍රාවය යොදා ගනිමින් පන්දුව පලුදු කළ බවට මින් පෙර මෙම නායකයන් දෙදෙනාම අයි.සී.සී.ය විසින් දඬුවමට ලක් කර තිබීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු නායක ඩු ප්ලෙසි කියා සිටියේ තරගයක් සඳහා සහභාගි වන මොහොතේ ක්‍රීඩකයකුට භාවිත කළ හැකි පැණි රස කෑම වර්ග කුමක්දැයි හරි හැටි නිර්වචනය නොකිරීම තමන්ට ප්‍රශ්නයක් බවයි. චුයින්ගමයක් කෑමක් හෝ වරදක්ද? නැද්ද? යන මෙකී නීතිවලින් පැහැදිලි නැති බව ප්‍රකාශ කළ දකුණු අප්‍රිකානු නායකයා "අපේ කණ්ඩායමේ හෂීම් අම්ලා වුණත් කියන්නේ දීර්ඝ වෙලාවක් ක්‍රීඩා කරන විට පැණි රස යමක් කෑමට තිබේ නම් වඩාත් කැමැති බවයි. මම හිතන්නෙත් එහෙම පැණි රස දෙයක් කෑම කිසිම වරදක් නැහැ. ඒ නිසා මට තවමත් මේ ගැන වැඩි විස්තර සහිතව පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියන මතයේ ඉන්නවා. ඒ නිසා තරගය ආරම්භ කිරීමට පෙර මම මේ ගැන විනිසුරුවන්ගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා. එවිට අපිට නිසි පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. මට පමණක් නොවෙයි දිනේෂ්ටත් මේ ගැන නිවැරැදි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව මට විශ්වාසයි" යනුවෙන් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඩු ප්ලෙසි "පැණි රස කෑමක් කාල ඒ මඟින් මතුවෙන කෙළ පාවිච්චි කරල පන්දුවෙ දිස්නය ලබා ගන්න එකයි ඕස්ට්‍රේලියානුවන් වැලිකඩදාසි භාවිත කරල පන්දුවෙ හැඩය වෙනස් කළ එකයි එකම විදියේ වරදක් ලෙස සලකන්න බැහැ. පන්දුවෙ තත්ත්වය වෙනස් කරන්න ඉස්සර වෙලා අද මේක ගැන ක්‍රීඩකයන්ට දෙවරක් හිතන්න වෙලා තිබෙනවා" යැයිද කීය.

තවද දකුණු අප්‍රිකානු නායකයා පවසා සිටියේ පන්දුව පලුදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් යමක් කමින් සිටියදී පන්දුවෙහි දිස්නය ලබා ගැනීමට කටයුතු කිරීම එතරම් බරපතළ කරුණක් නොවන බවයි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ ගාල්ලේ ටෙස්ට් තරගය ඇරැඹීමට පෙර පැවැත්වෙන අයි.සී.සී. තරග තීරක සමඟ රැස්වීමේදී මෙම කරුණ පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. "අපි මේ ගැන තරග තීරක හා විනිසුරුවන් සමඟ සාකච්ඡා කරල තරග කරන අවස්ථාවලදී පැණි රස කෑමට අපිට ඉඩ දෙනවාද නැද්ද කියල පැහැදිලි කරගත යුතුයි. එහෙම කෑමෙන් පසුව දීප්තිය ලබා ගන්න පන්දුව පිරිමදින්න අවස්ථාව ලැබෙනවද කියලත් නිරාකරණය කරගන්න ඕන. පසුගිය අවුරුද්දේ පාකිස්තානයට එරෙහිව තරගයේදී අබුඩාබිවලදී උෂ්ණත්වය අංශක 45 වුණා. මම ලකුණු 164ක් ගත්තා. ලකුණු 120 ගන්න විටදී මට කලන්තෙ වගේ ආවා. ඒ වෙලාවේ මම භෞත චිකිත්සකගේ උපදෙස් අනුව පැණි රස කාල තමයි අවශ්‍ය ශක්තිය ලබාගෙන මම ඉතිරි කාලය ක්‍රීඩා කළේ" යනුවෙන් ද කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon