ඓතිහාසික උණගලා වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

  👤  1021 readers have read this article !
Published by : MB WEB 2018-06-25 15:42:53

ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අභිමානවත් ජාතියක් වන අපගේ අතීත සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීම රජයේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, හිඟුරක්ගොඩ උණගලා වෙහෙර රජ මහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ඊයේ (24) පස්වරුවේ එක්වෙමිනි.

පොළොන්නරුව ඓතිහාසික උණගලා වෙහෙර ලෝකවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමානයට සුදුසු ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ආරම්භ කෙරුණේ 2016 වසරේදී ය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කය පුරා විසිර පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන හා සියලු ආගම්වලට අයත් ආගමික ස්ථාන සංරක්ෂණය කිරීමටත්, එම පූජනීය ස්ථානවල මූලික අවශ්‍යතා සැපිරෙන පරිදි සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමටත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක "පිබිදෙමු පොළොන්නරුව" දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් උණගලා වෙහෙර ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කෙරිණි.

පොළොන්නරුවට අයත් ඓතිහාසික බෞද්ධ හා හින්දු පුරාවස්තුන් අතර හමුවන එක් සුවිශේෂ පුණ්‍ය භූමියක් ලෙස උණගලා වෙහෙර හැඳින්විය හැකිය.

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

ප‍්‍රතිනිර්මාණය කෙරුණු චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව ජනාධිපතිතුමා චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පළමු මල් පහන් පූජාව සිදු කළේය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය සහ වැඩබලන ලේඛකාධිකාරි සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ, උතුරු, උතුරුමැද හා නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක උඩුගම ධම්මානන්ද නායක හිමිපාණන් වහන්සේ, උණගලා වෙහෙර රජමහා විහාරාධිපති පොළොන්නරුව, තමන්කඩුව අධිකරණ සංඝනායක පූජ්‍ය ගිරිතලේ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon