'මාරි මියුසියස්-රෝහිණී අලස්' අභියෝගතා කුසලාන දැල්පන්දු තරගාවලිය 30දා

  👤  1304 readers have read this article !
Published by : MB WEB 2018-06-22 10:29:57

සඳරු පෙරේරා

ශ්‍රී ලංකාවේ පැරණිතම පෞද්ගලික බාලිකා පාසලක් වන කොළඹ මියුසියස් විද්‍යාලය හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසලක් වන කොළඹ ගේට්වේ විදුහල අතර 'මාරි මියුසියස් - රෝහිණී අලස්' අභියෝගතා කුසලානය වෙනුවෙන් පළමු වරට පැවැත්වෙන දැල්පන්දු තරගාවලිය මෙම මස 30 වැනිදා රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම විද්‍යාල දෙකෙහි නිර්මාතෘවරුන් වන මාරි මියුසියස් හිගින්ස් මැතිනිය හා රෝහිණී අලස් මහත්මිය වෙනුවෙන් නම් කරන ලද මෙම අභියෝගතා කුසලාන තරගාවලිය එදින ප.ව. 2.00ට ආරම්භ වන අතර, ඉන් ප්‍රධානම තරගය වන්නේ අවුරුදු 20න් පහළ තරගයයි. ඊට අමතරව අවුරුදු 15න් පහළ තරගයක්ද කොළඹ විශාකා විද්‍යාලය හා මහනුවර ගේට්වේ විදුහල අතර ප්‍රදර්ශන තරගයක්ද පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගාවලියේ ප්‍රේක්ෂකයන් සඳහාද විශේෂ අංග ඇතුළත් කර ඇති අතර තරග අවසානයේ පාසල් ද්විත්වයේම සහභාගිත්වයෙන් සමාජ සුබසාධන වැඩසටහන්ද මෙයට ඇතුළත්ව තිබේ.

අවුරුදු 20න් පහළ තරගයේදී පමෝදා ජයසේකර මියුසියස් විදුහලේ නායකත්වයත්, මල්ෂි ද සිල්වා ගේට්වේ විදුහලේ නායකත්වයත් හෙබවන අතර, අවුරුදු 15න් පහළ තරගයේදී අකිත්‍යා පැස්කුවල් විසින් මියුසියස් කණ්ඩායමේ නායකත්වයත්, ෂෙනාලි ප්‍රනාන්දු විසින් ගේට්වේ කණ්ඩායමේ නායකත්වයත් හොබවනු ලබයි.

මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවට ගේට්වේ විදුහලේ සභාපති ආචාර්ය හර්ෂ අලස්, මියුසියස් විද්‍යාලයේ භාරකරු ඉන්ද්‍රානි වීරතුංග, මියුසියස් විදුහලේ විදුහල්පතිනි නෙලුම් සේනාධීර, කොළඹ ගේට්වේ විදුහලේ විදුහල්පතිනි විනිතා ෂෙනෝයි, කොළඹ ගේට්වේ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති රෝහණ පෙරේරා, ගේට්වේ විදුහලේ ක්‍රීඩා අධ්‍යක්ෂ මේජර් ජනරල් බණ්ඩාරතිලක සහ මියුසියස් විදුහලේ ක්‍රීඩා භාර ආචාරිනි ජේ.එස්.ටී.ජයරත්න යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

තවද එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගේට්වේ විදුහලේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා 'මියුසියස් විද්‍යාලය කියන්නෙ ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් තියෙන ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක්. එවැනි පාසලක් ජාත්‍යන්තර පාසලක් සමඟ එකතුවෙලා මේ වගේ තරගාවලියක් පවත්වන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. පාසල් පද්ධතිය ගත්තම රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් අපිට තියෙනවා. මේ මොන පාසලක් ගත්තත් අපි හැමෝම මහන්සි වෙන්නෙ දරුවන්ගේ සුබ සිද්ධිය සඳහා. මම පසුගිය අවුරුදු හතරම ජාත්‍යන්තර පාසල් සංගමයේ සභාපති ලෙස කටයුතු කළා. එම සංගමයේ ලංකාවේ ඉහළින්ම පවත්වාගෙන යන පාසල් 25ක් තියෙනවා. මේ පාසල්වල සියයට අනූ පහක්ම ඉන්නෙ ලංකාවේ දරුවෝ. මම හිතන හැටියට පාසල් එක එක නම්වලින් තිබුණට අපි හැමෝම වැඩ කරන්නෙ ලංකාවේ දරුවෝ වෙනුවෙන්' යැයිද සඳහන් කළේය.

ඡායාරූප - සස්සඳ ලියනාරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon