අරණායක - තෙල්ලෙක මාර්ගයේ ඇළක් කැපීමෙන් නිවාස කිහිපයකට හානි

  👤  1313 readers have read this article !
Published by : MB WEB 2018-06-21 11:26:09

අරණායක - රත්න හෙම්මාතගම

අරණායක සාමසර කන්ද නායයෑමේ මහ විපතට ගොදුරුව සිය නිවාස දේපොළ අහිමිවූ පවුලක් අරණායක හකුරුගම්මන වෑවල ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඉදිකිරීම් කටයුතු අවසන් කොට පදිංචිව සිටියි. එම නිවෙස සහ ඒ දෙපස පිහිටි තවත් නිවෙසක් හා ඉදිකරමින් පවතින නිවෙසක් පිහිටි භූමි භාගයටත් අරණායක තෙල්ලෙක මාර්ගය අතරින් ඇළක් කැපීම නිසා එම මාර්ගය ඇළට සේදී යෑම මෙන්ම පහතින් පිහිටි නිවාස තුනට ඇළේ වතුර කාන්දු වී විනාශ වී යෑමේ අනතුරක් එල්ල වී ඇත.

මෙහිදී එම නිවැසියන් අප සමඟ අදහස් දැක්වීය.

එන්. ප්‍රේමදාස මහතා

අපි පදිංචිවෙලා හිටියේ සාමසර කන්දේ. ඒක නාය ගියාට පස්සේ අපට උන්හිටි තැන් නැතුව ගියා. ජීවිත නම් අනූ නවයෙන් බේරා ගත්තා. පස්සේ කඳවුරුවල පදිංචිවෙලා හිටියා.

ඒ අතරේ උන්හිටිතැන් අහිමි වුණ අයට ආණ්ඩුවෙන් ඉඩම් හොයලා බලලා ගෙවල් හදලා දෙන්න ගත්තා. එහිදී අරණායක ප්‍රාදේශීය ලේකම්වරයා කීවා පෞද්ගලිකව ඉඩම් හොයා ගන්න හැකි අය ඉන්නවා නම් කියන්න, එවිට එම ඉඩම් මිලදී ගැනීමට ඉඩදෙනවා කියලා.

ඒ සඳහා මුදල් රජයෙන් දෙනවා. එම ඉඩම්වල නිවෙසක් ඉදිකර ගැනීමටත් මුදල් ලබාදෙනවා කියලා. ඊට පස්සේ අපි මේ අරණායක හකුරුගම්මන වෑවල කියන ගමේ ඉඩමක් තෝරාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතිය ඇතිව එය මිලදී ගත්තා. ගේකුත් ඉදිකර ගත්තා. දැන් අපි පදිංචිවෙලා ඉන්නේ ඒ ගෙදර. තවමත් එහි වැඩකටයුතු කරගෙන යමින් පවතිනවා.

අපි පදිංචි වෙලා ඉන්නේ නිරවුල් ඔප්පු තියෙන ඉඩම්වල. මේ ළඟදී අපේ ඉඩමට උඩින් මහපාරට යාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා බැකෝ යන්ත්‍රයකින් ඇළක් කපලා ගියා. මේ ඇළ කැපීමත් සමඟම මේ දවස්වල ඇද හැලෙන වැස්ස නිසා මහ වතුර පාරක් පහළට ගලාගෙන යනවා. මේ වතුර අපේ ඉඩම්වලට කාන්දුවෙලා දැන් ඉන්න හිටින්න බැරි තත්ත්වයක් උදාවෙලා තිනෙවා. මේ අපි මේ ඉඩම ගන්න වෙලාවේ ඒ අයිතිය තියෙන අය කීවේ මෙතන ඇළක් තිබුණේ නෑ කියලයි. ඒත් මේ අලුතෙන් කපපු ඇළ නිසා ආයෙත් සැරයක් අපිට උන් හිටිතැන් නැතිවෙන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

එච්. ඩී. සී. ප්‍රදීපිකා මහත්මිය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපෙන් අහන්නේ බලන්නේ නැතුව ඉඩමට උඩින් ඇළක් හැදුවා. මේ ඇළ නිසා දැන් අපේ ගෙවල්වලටත් හානි වෙලා තියෙනවා. අලුතෙන් හදපු ගෙයි පැත්තකින්, අපි අවුරුදු හහයක් පදිංචිවෙලා හිටපු නිවෙසේ බිත්තිවලට ඇළේ වතුර කාන්දු වෙලා කොයි වෙලාවේ හරි කඩා වැටෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නය ගැන වගකිවයුතු නිලධාරීන්ට අපි දැනුම් දුන්නත් ඒවාට කවුරුවත් සවන් දුන්නේ නෑ. පොලිසිය විතරයි අපේ කතාවට සවන් දුන්නේ. ඇළ කපාපු නිලධාරීන් කියන්නේ මෙතැන කලින් ඇළක් තිබුණා කියලා. නමුත් අපේ ඉඩම් ඔප්පුවලවත් පත්තිරුවකවත් ඇළක් ගැන සටහන් වෙලාවත් නෑ. අපි මේ ගැන ගොවිජන සේවා එකට දැනුම් දුන්නත් එයාලා කියන්නේ මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මිස එයාලට අදාළ නෑ කියලයි.

අරණායක ප්‍රාදේශීය සභාවේ හකුරුගම්මන කොට්ඨාසයේ එජනිස ප්‍රාදේශීය සභා මන්ත්‍රි සශික නුවන් බණ්ඩාර රත්නායක මහතා

මේ ඉඩම් තියෙන්නේ අරණායක තෙල්ලෙක පාර අයිනේ. මේ පාර කෝටි 3ක් වියදම් කරලා පහුගිය ආණ්ඩුව කාලේ කාපට් කරලා සංවර්ධනය කළා. මේ ඇළ මාර්ගය කැපීම ගැන සබරගමු පළාත් විධායක ඉන්ජිනේරු කාර්යාලයවත් දැනුවත් කරලා නෑ. මේ ගැන අපි දැනුම් දුන්නට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මාර්ගයේ ආරක්ෂාවට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් නීතිමය පියවර ගන්නා බවට මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. අපි කියන්නේ මේ පාර ආරක්ෂා වෙන විදියටත් පහළින් තිබෙන ඉඩම් ආරක්ෂා වෙන විදියටත් බැමි ඉදිකරලා දෙන්න බැරිනම් ඇළ වහලා දාන්න කියලා. මේ ඉඩම් හිමියන් ගැන කියනවා නම් කවදාවත් ඒ ඉඩම්වලට ඉහළින් ඇළක් තිබිලා නෑ. ගොවිජන සේවා එක කොහොම කීවත් ඒ ඉඩම් හිමියන්ගේ ඔප්පුවල සඳහන් වෙලා තියෙන්නේ ඇළක් තිබුණේ නෑ කියලයි. මෙතැන එක ඉඩම කට්ටියක ඉන්නවා සාමසර කන්දේ ඉඩම් නායයෑමෙන් අවතැන් වූ පවුලක්. අපේ ඉඩමක් තමයි ඒ දීලා තියෙන්නේ. එන්.බී.ආර්.ඕ එකෙනුයි භූ විද්‍යා හා පතල් එකෙනුයි අනුමැතිය දීලා තිබෙනවා මේ ඉඩමේ නිවෙස හැදීම සුදුසුයි කියලා. එහා පැත්තේ ඉඩමේ අයගේත් ගොවිජන සේවා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මඟින් ගේ හදාගැනීමට අනුමැතිය දීලා තිබෙනවා. එහෙම තිබෙද්දී තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් මේ ඇළ කපලා තියෙන්නේ. මේ ඇළ කැපුවට කාටවත් ප්‍රයෝජනයක් නෑ. මේ ඇළ නිසා පහළින් තිබෙන වෙල් යාය යටකරගෙන ලොකු වතුර පාරක් යනවා. මේ ඇළේ වතුර පාර නිසා අලුතින් ගෙවල් හදාගත්ත පවුල් දෙකේ අයට දුක් විඳින්න වෙලා තියෙනවා. එමෙන්ම පාරේ කාපට් තීරුවත් කැඩිලා විනාශ වෙන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ ගැන අරණායක ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධයෙන් අප අරණායක ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිනි ප්‍රීති කුලතුංග මහත්මියගෙන් විමසූ අවස්ථාවේ ඇය පැවසුවේ,

මේ ඇළ කපලා තියෙන්නේ සබරගමු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වෑවල ගොවි සංවිධානයේ ඉල්ලීමක් අනුව. කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන්කරලා බැකෝ යන්ත්‍රයක් එවලා ඇළ කපලා තියෙන්නේ. මෙතැනින් කලින් ඇළක් තිබුණා කියලයි කියන්නේ. මේ ගැටලුව අපට අදාළ නෑ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ප්‍රේමචන්ද්‍ර,

මම මේ ගැන පරීක්ෂණයක් කාළා. එහිදී අනාවරණය වූ කරුණු අනුව මේ ගෙවල් හදලා තියෙන්නේ කුඹුරු ඉඩමක් ගොඩකරලයි. මේ අය ගොවිජන සේවා කොමසාරිස්වරයාගෙන් අවසරයක් අරන් තියෙන එක ඇත්ත. ඒත් මේ ඇළ කලින් ඉඳලා තිබුණා. වෙල් වෑවල යායේ කුඹුරු 20කට පමණ ජලය ගන්න ඇළ මාර්ගයක්. මේ ඇළ මාර්ගය වහලා තමයි මේ ඉඩම් ගොඩ කරලා ගෙවල් හදලා තියෙන්නේ. මේ අයගේ මෙම ක්‍රියාවන් පිළිබඳව මේ වෙලාවේ අපට තීරණයක් ගන්න බෑ. තෙල්ලෙක මාර්ගය කැඩිලා තියෙන්නේ වහලා තිබුණු ඇළ මාර්ගය කැපීමට යෑමේදී. මේ සම්බන්ධයෙන් මේ අවුරුද්දේ මේ පාර ආරක්ෂා වෙන විදියට බැම්මක් ඉදිකිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්කමක් නෑ. ලබන අවුරුද්දේ මෙයට විසඳුමක් දෙන්න පුළුවන්කමක් තියේද කියලා අපි බලනවා. අපට කියන්න තියෙන්නේ එච්චරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon