පන්සල ළඟ රේස් පැදලා අන්තර්ජාලයෙන් හිට් වුණ පොඩ්ඩෝ

  👤  1643 readers have read this article !
Published by : MB WEB 2018-06-19 17:03:15

දංකුඩ බංඩා මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ප්‍රියන්ත ශ්‍රී සමරකෝන් අධ්‍යක්‍ෂණය කරන මාලතී විජේසිංහ නිෂ්පාදනය කරන මේ අපූරු ටෙලියේ ඉන්න ප්‍රධාන පුංචි වැඩකරුවන් තුන්දෙනා තමයි බණ්ඩා, පොඩ්ඩා, හැකරැල්ලා කියන්නේ. මේ පුංචි දක්‍ෂයෝ තුන්දෙනා මේ දවස්වල සමාජ මාධ්‍යවලත් හරි හරියට ජනප්‍රියයි. ඒ ඔවුන්ගේ අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසරන නිසා. පන්සල ඉස්සරහා රේස් පදින්න එපා කියලා රණා මාමා කිව්වත් පොඩ්ඩෝ රේස් පැද්ද තැන පන්සල තිබුණට පොඩ්ඩෝ මොනවා කරන්නද? ඔන්න හැමෝගෙම හිත් දිනාගත්ත මේ පොඩ්ඩෝ තුන්දෙනා මෙදා පාර හදගැස්මට එකතු කර ගත්තා.

සමහර යාළුවෝ මට කතා කරන්නේ හැකරැල්ලා කියලා
- තීක්‍ෂණ චාමර

නම - තීක්‍ෂණ චාමර සම්පත්
ගම - පොළොන්නරුව ජයන්තිපුර
පාසල - පොළොන්නරුව ගාමිණි විද්‍යාලය
ඉගෙනුම ලබන ශේ‍ර්ණිය - 5 ශේ්‍රණිය
පවුලේ විස්තර - අම්මගේ නම පොඩි මැණිකේ තාත්තාගේ නම ප්‍රේමදාස

කොහොමද තීක්‍ෂණ?
හොඳින් ඉන්නවා.

මේ දවස්වල තීක්‍ෂණ හරි ජනප්‍රියයිනේ?
ඔව්. ඒ දංකුඩ බංඩා ටෙලි නාට්‍ය නිසා. මම කරන්නේ හැකරැල්ලා කියන චරිතය. ඒ චරිතය නිසා තමයි මට ජනප්‍රිය වෙන්න පුළුවන් වුණේ.

කොහොමද තීක්‍ෂණට මේ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුණේ?
මාලතී මිස් අපේ ගමට ආවා නාට්‍යයකට ළමයි තෝරන්න. ඒක ආරංචි වුණාම අම්මා මාව එතැනට එක්කරගෙන ගියා. මට රඟපාලා පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමයි මාව මේ චරිතයට තෝරා ගත්තේ. මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්.

දැන් යාළුවෝ තීක්‍ෂණට කතා කරන්නේ "හැකරැල්ලා" කියලලු නේද?
ඔව්. දහම් පාසලේ, පන්තිවල යාළුවෝ මට හැකරැල්ලා කියලා කතා කරනවා.

තීක්‍ෂණ රංගනයට සම්බන්ධ වුණ පළමුවැනි අවස්ථාව මේක නේද?
ඔව්. මම මීට කලින් රඟපාලා තිබ්බේ නෑ. දංකුඩ බංඩා ටෙලි නාට්‍යයේදී තමයි මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ.

මුලින්ම කැමරාවක් ඉදිරිපිට රඟපාද්දී බයක් දැනුණේ නැද්ද?
බයක් දැනුණේ නෑ. තව යාළුවෝ හිටපු නිසා බය නැතිවම රඟපෑවා.

තීක්‍ෂණ රංගනයට ආසද?
ඔව්. මම රඟපාන්න ගොඩක් ආසයි. නාට්‍යයටත් ගොඩක් ආසයි.

තීක්‍ෂණගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ යාළුවෝ, ගමේ අය කියනවා මම හොඳට රඟපානවා කියලා. තව හොඳට රඟපාන්න කියනවා. දැන් එක එක තැන්වලට ගියාම සමහරු මාව "හැකරැල්ලා" කියලා හඳුනගන්නවා.

තීක්‍ෂණට රංගනයට තව ආරාධනා ලැබුණද?
තවම නැහැ. හොඳ අවස්ථා ලැබුණොත් ඒ වැඩවලට සම්බන්ධ කරනවා කියලා අම්මා කිව්වා.

රංගන කටයුතු නිසා තීක්‍ෂණගේ අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්නේ නැද්ද?
මට අතපසු වුණ පාඩම් මගේ පාසලේ ගුරුවරු මට කියලා දෙනවා. යාළුවොත් මට ගොඩක් උදවු කරනවා. ඒ නිසා මට අධ්‍යාපන කටයුතුයි රංගන කටයුතුයි කරන්න පුළුවන්.

තීක්‍ෂණ රංගනයට අමතරව වැඩිපුරම කැමැති මොනවටද?
මම නර්තනයටත් ගොඩක් ආසයි. පාසලේදී නර්තන විෂය තෝර ගන්න ඉන්නේ.

එතකොට අනාගතයේදී තීක්‍ෂණ නර්තන ශිල්පියෙක් වෙන්නද රංගන ශිල්පියෙක් වෙන්නද කැමැති?
රංගන ශිල්පියෙක් වෙලා ඉදිරියට යන්න තමයි මම කැමැති.

නාට්‍යයේදී තීක්‍ෂණගේ ළඟම යාළුවා කවුද?
පොඩ්ඩා තමයි මගේ ළඟම යාළුවා. එයත් අපේ ගමේමයි. අපේ ගෙවල් තියෙන්නෙත් ළඟ.
තීක්‍ෂණට පවුලෙන් ලැබෙන සහාය ගැනත් කියමු.
අම්මයි තාත්තයි මට ගොඩක් උදවු කරනවා. අම්මා තමයි මාව රංගන කටයුතුවලට එක්ක යන්නෙත්.

 

දතක් කඩාගෙනත් රඟපෑවා
- ඔනෙල් දම්සත්

නම - ඔනෙල් දම්සත්
ගම - ඔරුගොඩවත්ත
පාසල - කොළඹ මහානාම විද්‍යාලය ඉගෙනුම ලබන ශේ‍ර්ණිය - 7 ශේ‍ර්ණිය
පවුලේ විස්තර - මගේ අම්මාගේ නම අමිලා චතුරාංගනි, තාත්තාගේ නම අසංක ඉන්ද්‍රජිත්

මේ දවස්වල සමාජ මාධ්‍යවලත් දංකුඩ බණ්ඩයි, පොඩ්ඩයි, හැකරැල්ලයි ජනප්‍රිය වෙලානේ?
අපේ වීඩියෝවක් මේ දවස්වල ෂෙයාර් වෙනවා. ඒක ගොඩක් අය බලලා තිබ්බා. දංකුඩ බංඩා ටෙලි නාට්‍යයේ අපි කරපු රංගනය දැකලා ගොඩක් අය කතා කළා. පාසලේ යාළුවොත් ඒ වීඩියෝව දැකලා තිබ්බා.

ඔනෙල් ජනප්‍රිය වුණේ දංකුඩ බංඩා ටෙලි නාට්‍ය නිසානේ. පුංචි නළුවෙක් විදියට ඔනෙල්ට මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ඒක දිග කතාවක්. මමයි තාත්තයි සින්දු කියලා යූ ටියුබ් දැම්මා. ඒ ගීතවලට කමෙන්ට් ආවා. නිමංකා කියලා ඇන්ටි කෙනෙක් මාව සමීර වීරසිංහ සර්ගේ සංගීත පන්තියට යොමු කළා. මම දිගටම සර්ගේ ක්ලාස් ගියා. ශිෂ්‍යත්ව විභාගය නිසා මට දිගටම ක්ලාස් යන්න බැරි වුණා. ඒත් සමීර සර් විශ්ව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය කරද්දී මට ඒකේ ගීත ගායනයට කතා කළා. ඊට පස්සේ මාව විශ්ව කියන ප්‍රධාන චරිතයටත් තේරුණා. ඊට පස්සේ ප්‍රගීත් අන්කල් තමයි කිව්වේ නාට්‍යයකට ළමයි තෝරනවා කියලා. එතැනදී මාවත් මේ නාට්‍යට තේරුණා.

අහම්බෙන් ලැබුණු රංගන අවස්ථාව නිසා ඔනෙල්ට විශාල ප්‍රේක්‍ෂක ආදරයක් ලැබිලා?
ඔව්. දංකුඩ බංඩා නාට්‍ය ගොඩක් අය බලනවා. අහම්බෙන් තමයි මේ අවස්ථාව ලැබුණේ. ඒත් දැන් ඒ නාට්‍ය නිසා අපිට ගොඩක් අය ආදරෙයි. සමහර මාමලා නැන්දලා රට ඉඳන් මාව බලන්න ඇවිත් තියෙනවා. තෑගි ගෙනත් දීලාත් තියෙනවා. දවසක් මට ඉස්කෝලෙදි වුණ සිද්ධියක් කියන්නද?

කියන්නකෝ බලන්න.
ළඟදී දවසක් අපේ පාසලට කලාපෙන් සර්ලා මිස්ලා ආවා. මම ඒ සර්ලා මිස්ලා එක්ක කතා කරනකොට යාළුවෙක් ඇවිත් කිව්වා මේ තමයි දංකුඩ බංඩා කියලා. ඊට පස්සේ එයාලා කිව්වා ඒක තමයි, කොණ්ඩේ වවාගෙන ඉන්නේ කවුද කියලා අපි බැලුවා කියලා. ඊට පස්සේ ඒ මිස් කෙනෙක් ඇවිත් මාත් එක්ක සෙල්ෆියකුත් ගත්තා.

ඔනෙල්ට ගායන හැකියාවට අමතරව රංගන හැකියාවක් තියෙනවා කියලා දැනගෙන හිටියාද?
මම දහම් පාසලේ වෙසක් නාට්‍යවල රඟපාලා තියෙනවා. ඒත් මට ප්‍රධානම නිර්මාණයකින් ඉස්සෙල්ලම රංගනය පෙන්වන්න ලැබුණේ දංකුඩ බංඩා නාට්‍යයෙන්. මට ඒ නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නත් අවස්ථාව ලැබුණා.

ඔනෙල්ට දැන් යාළුවෝ කතා කරන්නේ මොන නමින්ද?
දැන් යාළුවෝ මට ගොඩක් කතා කරන්නේ දංකුඩ බංඩා කියලා. ඒ නම කියලා මට විහිළු කරනවා. මගේ චරිතයට මම ආස නිසා දැන් ඒ නමිනුත් කතා කරනවාට මම ආසයි.

රංගන කටයුතු නිසා ඔනෙල්ට අධ්‍යාපන කටයුතු මඟහැරෙනවත් ඇති?
පාසල් යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. හැබැයි මම ඒ පාඩම් වැඩ කොහොම හරි සම්පූර්ණ කර ගන්නවා. පාසලේ විවිධ තරග තියෙද්දී මම අම්මට කියනවා ඒ දවස්වලට ෂූටින් දාන්න එපා කියලා නාට්‍යයේ මාමලාට කියන්න කියලා.

නාට්‍යයේදී යාළුවෝ ගොඩක් ඉන්න නිසා දඟ වැඩ කරනවත් ඇති?
ඔව්, අපි ඩබල් දාලා බයිසිකල් පදින්න ගිහින් වැටිලා තියෙනවා.

ඒ අතරතුර තව අමතක නොවන සිදුවීම් තියෙනවාද?
අමතක නොවන සිදුවීම් ගොඩාක් තියෙනවා. දවසක් මමයි ජේමිසුයි බොක්සිං ගහද්දී මගේ දතක් කැඩුණා. ටිෂූ එකක් හපාගෙන තමයි රඟපෑවේ. නුග ගහේ එල්ලිලා යද්දී ඕන තරම් ඇළටත් වැටිලා තියෙනවා.

ඔනෙල්ට රංගනයට, ගායනයට අමතරව තවත් දක්‍ෂතා ඇති?
මට සංගීත භාණ්ඩ වාදනය කරන්න, චිත්‍ර අඳින්න පුළුවන්.

ඔනෙල් දිගටම රඟපාන්න කැමැතිද?
ඔව්. මම දිගටම රඟපාන්න ආසයි.

ස්තුති කරන්නත් පිරිසක් ඉන්නවා නේද?
ඔව්. නිමන්කා ආන්ටි, සමීර සර් මගේ පාසලේ සර්ලා මිස්ලා වගේම දහම් පාසලේ ගුරුවරුන්, මගේ යාළුවන්, මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.

දැන් ටීචර් කතා කරන්නෙත් පොඩ්ඩා කියලා
- ආකාශ් බුද්ධික

නම - ආකාෂ් බුද්ධික ජයතුංග
ගම - පොළොන්නරුව
පාසල - ගිරිතලේ මධ්‍ය මහා විද්‍යාලය
ඉගෙනුම ලබන ශේ්‍රණිය - 6 ශේ‍ර්ණිය
පවුලේ විස්තර - අම්මයි, තාත්තයි, මමයි අයියලා දෙන්නයි ඉන්නේ. අම්මගේ නම අයි.ජී. රූපාවතී. තාත්තාගේ නම ජේ. නිමල් ජයතුංග.

කොහොමද ඉතිං පොඩ්ඩෝ?
හොඳින් ඉන්නවා.

හැමෝම ආකාශ්ව පොඩ්ඩා කියලා හඳුනගන්නේ දංකුඩ බංඩා නිසා. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ.
දංකුඩ බංඩා නාට්‍යයට ළමයි තෝරන්න අපේ ගමට ආවා. අපේ ගමේ නැන්දා කෙනෙක් තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න අපිට උදවු කළේ. ළමයි තෝරන දවසේ මමත් ගියා. මම ඒ පරීක්ෂණයෙන් තේරුණා. ඉතිං මට ලැබුණේ පොඩ්ඩාගේ චරිතය.

ආකාශ් රංගනයට සම්බන්ධ වුණු පළමුවැනි අවස්ථාව මේකද?
මම ඊට කලින් ගීත නාට්‍යයකට සම්බන්ධ වෙලා දිස්ත්‍රික් මට්ටමේ තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ පළමුවැනි වතාවට. මම හරිම ආසයි ඒ නාට්‍යයට.

මුලින්ම කැමරාව ඉදිරියේ රඟපාද්දි මොකද හිතුණේ?
ඉස්සෙල්ලම නම් ටිකක් බය හිතුණා. දැන් නම් බයක් නැහැ.

දැන් ආකාශ්ට ගොඩක් අය කතා කරන්නෙ පොඩ්ඩා කියලලු නේද?
ඉස්කෝලේ යාළුවෝ මට පොඩ්ඩා කියලා කතා කරනවා. සමහර වෙලාවට ටීචර් මට කතා කරන්නෙත් පොඩ්ඩා කියලා.

පොඩ්ඩාගේ රංගනයට දැන් ප්‍රතිචාර ජයයිද?
ඔව්. ගොඩක් කට්ටිය නාට්‍ය බලලා අපි හොඳට රඟපානවා කියනවා.

රඟපාද්දි නාට්‍යයේ මාමලා නැන්දලාගෙන් ලොකු සහායක් ලැබෙනවා ඇති?
ඔව්. කතාවේ මගේ අම්මයි තාත්තයි විදියට රඟපාන්නේ වසන්ති රන්වල නැන්දයි, සරත් චන්ද්‍රසිරි මාමයි. ඒ දෙන්නා මට ගොඩක් ආදරෙයි. එයාලා වගේම හැමෝම අපේ අඩුපාඩු හදාගෙන රඟපාන්න කියලා දෙනවා.

ආකාශ්ගේ රංගන හැකියාවට පවුලෙන් ලැබෙන සහායත් වැදගත් නේද?
ඔව්. මගේ අම්මයි තාත්තායි අයියලා දෙන්නයි මට ගොඩක් උදවු කරනවා. හොඳ නරක අඩුපාඩු කියලා දෙනවා. තාත්තා තමයි මාව ෂූටින්වලට එක්කගෙන යන්නේ.

නාට්‍යයේදී පොඩ්ඩගේ ළඟම යාළුවා කවුද?
හැකරැල්ලාගේ චරිතය කරන තීක්ෂණ. එයා මගේ ගමෙත් යාළුවෙක්.

පොඩ්ඩත් යාළුවෝ එක්ක එකතු වුණාම දඟ වැඩ කරනවද?
ඔව්. ටිකක් දඟ වැඩ කරනවා. සමහර වෙලාවට දඟ වැඩ කළාම එක තැන හිටගෙන ඉන්න වෙලත් තියෙනවා.

ආකාශ් අනාගතයේ කවුරු වෙන්නද හීන දකින්නේ?
මම නළුවෙක් වෙන්න කැමැතියි. මේ වගේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා කවදාහරි හොඳ නළුවෙක් වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon