කුඹුරක් ගොඩකර ඉන්ධන පිරවුම්හලක් හදනවා

  👤  1850 readers have read this article !
Published by : MB WEB 2018-06-14 10:58:47

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

රජය මඟින් කුඹුරු ඉඩම් ගොඩකිරීම තහනම් කර තිබියදීත් ගලෙන්බිඳුණුවැව ගොවි ජනපදයේ කුඹුරු ඉඩම් ගොඩ කරමින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා බවට ගොවීන් පිරිසක් චෝදනා කරති. මේ නිසා අනෙකුත් ගොවීන්ටත් සිය ජීවන වෘත්තිය වන ගොවිතැන මුළුමනින්ම අතහැර කුඹුරු ඉඩම් ගොඩකර විකුණා දැමීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

ගොවි ජනපදයක් වන ගලෙන්බිඳුණුවැව නගර ආසන්නයේම පිහිටි කුඹුරු ඉඩම් කිහිපයක්ම මේ වන විට වාණිජ කටයුතු සඳහා ගොඩකර ගොඩනැඟිලි ඉදිකර තිබෙන බවත් මේවා නොදැක්කා සේ ප්‍රදේශයේ බලධාරීන් මුණිවත රකින බවත් ඔවුහු පවසති. ගලෙන්බිඳුණුවැව ගනේවල්පොළ-කැකිරාව මාර්ගයේ පිහිටි විශාල කුඹුරු ඉඩමක් ගොඩකර ඉන්ධන පිරවුම්හලක් ඉදිකරන බවත් ඒ සමඟම සෙසු කුඹුරු කොටසත් ගොඩකර දැමීමට කටයුතු කරමින් සිටින බවත් කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගලෙන්බිඳුණුවැව ගොවි ජනපදයේ ගොවීහු මෙසේ පැවැසූහ. මේ වන විට ප්‍රදේශයේ කුඹුරු ඉඩම් විශාල වශයෙන් ගොඩකර විකුණනවා. රජය කුඹුරු ඉඩම් ගොඩකිරීම තහනම් කරද්දී තමයි මේ දේවල් වෙන්නේ. ගලෙන්බිඳුණුවැව නගරයේ ඉන්ධන පිරවුම්හලක් තියෙද්දී ඊට කිලෝමීටරයක්වත් දුරක් නැති තැනක තවත් ඉන්ධන පිරවුම්හලක් ඉදිකරනවා.

අපිට කවුරු ඉන්ධන පිරවුම්හල් හැදුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපට වෙන හානිය කවුරුත් බලන්නෙ නෑ. අපි ඉන්න ප්‍රදේශයට කිලෝමීටර් දහයක් ‍ෙදාළහක් අෑතින් කුඹුරු ඉඩමක් පිරෙව්වත් අපිට ජලය ලැබෙන කෘෂි ඇළ මාර්ගයක් කොහෙන් හරි අවහිර වෙනවා. සල්ලි තියෙන මිනිස්සු රජයේ ආයතනවලට සල්ලි විසිකරලා බොරු ලේඛන හදලා අපිට පෙන්වනවා එහෙම දෙයක් නෑ ඔයාලට ගැටලුවක් නෑ කියලා. නමුත් කුඹුරු ගොවිතැනෙන් දරු පවුල් රකින අපිට වගාවක් කරගන්න විදියක් නැහැ.

ගලෙන්බිඳුණුවැව නගර ආසන්නයේ ඉඳන් තැන් තැන්වල තියෙන කුඹුරු ඉඩම් කොටස් ගොඩකිරීම ශීඝ්‍රයෙන් වෙනවා. තව අවුරුදු පහක් විතර යද්දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩමක් දැකගන්න නැතිවෙයි. මේ ඉන්ධන පිරවුම්හලේ වැඩ කටයුතු බොහොමයක් කරලා ඉවරයි. කවුද මේ කුඹුර ගොඩ කිරීම සඳහා අවසර දුන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පේන මානයේ මේවා සිද්ධ වෙන්නේ. දැනගන්න ලැබුණා පිරවුම්පොළ හදන ස්ථානයට පිටිපස්සේ පිහිටි කොටසත් ගොඩ කරලා විකුණනවා කියලා.

අපි පුවත්පත් මඟින් දැක්කා අනුරාධපුර පූජා නගරයේ කුරුණෑගල හන්දිය හා ආලංකුළම ප්‍රදේශවල හෝටල් තැනීමට ගොඩකරපු කුඹුරු ඉඩම්වල ඉදිකිරීම් නොකරන ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නියෝග කරලා තිබ්බා. අපි ඉල්ලන්නේ වහාම මේ කටයුතු නවත්වන්න උපදෙස් දෙන්න කියලා. මේ නරක පූර්වාදර්ශය නිසා ඉදිරියේදී සියලුම කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත්වෙයි. යනුවෙන් ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.
මෙම පුවත වාර්තා කිරීමට ගිය අවස්ථාවේ ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයා පැමිණ තමන්ට අවශ්‍ය පරිදි කුඹුරු ඉඩම් ගොඩකර විකුණන බව පවසමින් 'මව්බිම'ට තර්ජනය කළ අතර තමන් ජනමාධ්‍ය සම්බන්ධයෙන් හොඳ දැනීමක් ඇති අයකු බවත් පැවැසුවේය.

එම ස්ථානයේදී හමුවූ ඉන්ධන පිරවුම්හල ඉදිකරන ව්‍යාපාරිකයා වන චින්තක සෙනෙවිරත්න මහතා මෙසේ පැවැසුවේය. මේක කුඹුරු ඉඩමක් නෙවෙයි. මේක ගොඩ ඉඩමක්. ඇතැමුන් ඊර්ෂ්‍යාවට බොරු පැමිණිලි කරනවා. පෙත්සම් ගහනවා මේ ව්‍යාපාරය නවත්වන්න. කිසිම ඇළ මාර්ගයක් අවහිර වී නෑ. ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව වාරිමාර්ග ඉන්ජිනේරුවරයා කෘෂි ඇළක් මේ ආසන්නයේ නෑ කියලා මට ලිඛිතව දන්වලා තියෙනවා.

අප කළ සොයා බැලීමකදී ව්‍යාපාරිකයා මිලදීගෙන ඇති ඉඩම කුඹුරු ඉඩමක් බව සිතියම් මාර්ගයෙන් අනාවරණය කරගැනීමට හැකිවූ අතර අංක 450-451 පී දරණ ස්ථානය කුඹුරු ඉඩම් බව එහි සඳහන් කර තිබිණි. අනුරාධපුර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිහිටි නගර සිතියමේද එම ස්ථානය පැරැණි කුඹුරු යායක් බව සඳහන්ව තිබිණි.

කුඹුරු ඉඩම් ගොඩකිරීම රජයෙන් තහනම් කර තිබියදී කුඹුරු ඉඩම් ගොඩකර වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට අවසර දෙන්නේ කවුරුන්ද යන්න විමසීම සඳහා ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් මාග්‍රට් පී. කුඹුරගේ මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට ඇගේ ජංගම දුරකථනයට අවස්ථා කිහිපයක්ම ඇමැතුම් ලබා ගත්තත් ඇය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූවාය.

පසුව ගලෙන්බිඳුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්ථාවර දුරකථන අංකයෙන් ඇය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් ඊට පිළිතුරු දුන් අයකු පැවැසුවේ ඇය අවමඟුල් උත්සවයක් සඳහා සහභාගි වී ඇති බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon