පන්දු රැකීමේ දුර්වලතා පරාජයට හේතු වුණා

  👤  1449 readers have read this article !
Published by : MB WEB 2018-06-12 10:15:39

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වූ අතර එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පරාජයට හේතු දක්වද්දී කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පැවැසූවේ ලෝකයේ වඩාත්ම ස්ථාවර පසුපෙළක් සහිත ක්‍රිකට් කණ්ඩායම තමන් සතු බවයි.

ඒ අනුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ එම තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් ගිලිහුණු උඩපන්දු තරගයේ තීරණය සඳහා දැඩිව බලපෑ බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිමාල් "මෙම තරගයේදී අපගේ පන්දු රැකීම ඉතාමත් දුර්වල මට්ටමකයි පැවතුණේ. ඉතාමත් වැදගත් උඩ පන්දු කිහිපයක් අපට රැකගන්නට නොහැකි වුණා. අපගේ වැරදි නිවැරදි කරගෙන කණ්ඩායමක් ලෙස මීළඟ තරයේදී නැඟී සිටිය යුතුයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගය පැවැති දින 5 තුළ ඉතා දක්ෂ අන්දමින් ක්‍රීඩා කළා. එම නිසා ඔවුන්ට මෙම තරගයේ වැඩි ගෞරව අනිවාර්යයෙන් හිමි විය යුතුයි" යනුවෙන් ප්‍රකාශ කළේය.

තවද ළහිරු කුමාර ඉතාමත් දක්ෂ අන්දමින් පන්දු යැවූ බවත් කුසල් මෙන්ඩිස් අතිදක්ෂ ඉනිමක් ක්‍රීඩා කළ බවත් එය ඉදිරි තරග ස¼දහා ධනාත්මක සාධකයක් බවත් පැවැසූ චන්දිමාල් වැඩිදුරටත් අදහස් දක්වමින් "මින් පෙර පැවැති තරගාවලි කිහිපයකදී ඉතා විශිෂ්ට ගණයේ ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළ අපගේ අංක 3 පිතිකරු වන ධනංජය සිල්වා සූදානම් නම්, ඔහුව මීළඟ තරගය සඳහා යොදාගැනීමට අප බලාපෙරොත්තු වනවා." යනුවෙන් පවසා ඇත.

කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ගේ නායකත්වය යටතේ ඔවුන් ජයගත් 5 වැනි ටෙස්ට් තරගය වූ මෙම තරගය පිළිබඳ අදහස් දැක්වූ කොදෙව් නායකයා "පසුගිය වසර දෙක තුනක කාලයේ ලෝකයේ වඩාත්ම ස්ථාවර පසුපෙළක් සහිත කණ්ඩායම ලෙස කොදෙව් කණ්ඩායම හඳුන්වන්නට පුළුවන්. මම සෑම විටම ටෙස්ට් තරගවලදී උත්සාහ කළේ මාගේ කණ්ඩායමේ සගයන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනඟමින් හොඳ සටනක් නිර්මාණය කිරීමටයි. මෙම තරගයේදී එම සටන්කාමී බව නිර්මාණය වූයේ ඩෝරිච් සහ මා අතර පවත්වන්නට හැකි වූ සම්බන්ධතාව මඟිනුයි. ඉන් අනතුරුව බිෂූ පැමිණ අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. එමඟින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මානසිකත්වය පහළ වැටුණා." යනුවෙන් පවසා ඇත.

මේ අතර තවදුරටත් අදහස් දැක්වා ඇති හෝල්ඩර් පවසා ඇත්තේ දෙවැනි දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට බාධා සිදුවුව ද කෙසේ හෝ එදින ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යවා කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට හරවා ගැනීම තම සැලැස්ම වූ බවත්, එම සැලැස්ම අති සාර්ථක වූ බවත් ය.

ටි්‍රනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේ පවැති එම තරගයේ කොදෙව් පළමු ඉනිමේ ලකුණු 145කට කඩුලු 5ක් දැවීගොස් ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව තිබියදී වගකීම් සහගත පිතිකරණයක නිරත වූ ෂේන් ඩෝරිච් කොදෙව් පසුපෙළ සමඟ එක්ව කොදෙව් ඉනිම ලකුණු 414ක් දක්වා ඉහළ දැමීමට සමත් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon