ක්‍රිකට් ලොව නම රැන්දූ ඩිල්ෂාන් නළු ඉනිම ජය ගනියිද?

  👤  2445 readers have read this article !
Published by : MB WEB 2018-06-10 15:34:30

මේ දවස්වල ඔබ රංගනයෙන් දකින්න ලැබෙනවා?

ඔව්. කලාවට මම කොහොමත් ආදරය කළා. ඉතිං 'මිතූ' ටෙලි නාට්‍යයට අහඹු ආරාධනයක් ලැබුණා. සාමාන්‍යයෙන් මම ජීවිතයට ලැබෙන හැම දේකින්ම වින්දනයක් ලබනවා.

අහම්බයෙන් වුණත් මිතූ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව විවර වුණේ කොහොමද?

මුලින්ම මගේ බිරිය මංජුලාට තමයි මේ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ. ඒ ගැන සාකච්ඡා කරන්න මම ඇයත් සමඟ ගියපු අවස්ථාවේදී තමයි මටත් ආරාධනය ලැබුණේ. නමුත් ඒ වෙලාවේදී මම එච්චර කැමැත්තක් පෙන්නුවේ නැහැ. පස්සේ ඉතිං කොහොම හරි මම ඒක භාරගත්තා.

මුල ඉඳන්ම රංගනයට එන්න ආශාවක් තිබුණාද?

නැහැ. එහෙම දෙයක් තිබුණෙ නැහැ. ඒත් මම කොහොමත් කලාවත් එක්ක තමයි හිටියේ. මොකද මගේ යාළුවොත් ගොඩක් අය කලාවට සම්බන්ධයි. ක්‍රිකට් ගහද්දිත් මම කලාවට ආදරය කළා. මගේ ගෙදර පරිසරයේදීත් මම නිතරම සින්දු අහනවා. කලාවට ඇලුම් කරනවා.

ක්‍රිකට් ක්‍රීඩාව පුරුදු දෙයක් වුණාට රංගනය ඔබට නුහුරු දෙයක් නේද?

මෙහෙමයි. ක්‍රිකට් සහ රංගනය කියන්නෙ සංසන්දනය කරන්න බැරි මාතෘකා දෙකක්. මම හිතන්නේ ක්‍රිකට් කියන්නෙ මම උප්පත්තියෙන්ම අරගෙන ආව හැකියාවක්. ඒ හැකියාවත් සමඟ මට මුළු ලෝකයම ජයගන්න පුළුවන් වුණා. නමුත් රංගනය කියන්නෙ මට අලුත් දෙයක්.

මේ අලුත් අවස්ථාව ඔබට අභියෝගයක් වුණාද?

අලුත් දෙයක් වුණාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා ඉලක්කයක් තියෙනවා නම් අපිට ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන්. මොකද මම එහෙම අභියෝග දිනපු කෙනෙක්. ඉතිං මම හිතන්නෙ මේ අභියෝගය එක්තරා විදියක වාසනාවක්. මොකද හැමෝටම මේ වගේ අවස්ථා ලැබෙන්නෙ නැහැ.

ඔබට ඇලුම් කරන පිරිසට ළං වෙන්න හොඳ අවස්ථාවක් නේද මේ ලැබුණේ?

ඔව්. ඇත්තටම මම ක්‍රිකට්වලින් සමුගත්තට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෝ මාව දකින්නෙ ක්‍රිකට් තරගයකින් විතරයි. ඒත් දැන් ඔවුන්ට මාව දිනපතාම රූපවාහිනියෙන් දැකගන්න පුළුවන්. ඒක මට වගේම ඔවුන්ටත් හොඳ අවස්ථාවක්. ඒ වගේම හැමදාම මම ප්‍රේක්ෂකයන් සමඟ ජීවත් වෙනවා වගේ තමයි මට දැනෙන්නෙ.

කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

මේ වෙනකොට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හොඳ වගේම තිබෙන අඩුපාඩුත් කියනවා. ඉතිං දෙපැත්තම සමබරව ගලාගෙන යනවා. මෙච්චර කාලයක් ප්‍රේක්ෂකයෝ මාව පාරෙදි හම්බවුණාම ක්‍රිකට් තරග ගැන විතරයි ඇහුවේ. ඒත් දැන් රංගනය ගැනත් අහනවා. ඉතිං මම මේ වෙනසට හුඟක් කැමැතියි. ඇත්තටම ඒක අලුත් අත්දැකීමක්.

ඔය අතරෙ ඔබේ අලුත් පිම්ම ගැන ක්‍රිකට් රසිකයෝ මොකද කියන්නේ?

එයාලගෙන් තමයි වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නෙ. තාමත් මම පළමු පෙළ ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කරනවා. ඊට අමතරව රංගනය නිසාත් මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ කොටසක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතිං මම හිතන්නෙ ඒක මම ලබපු භාග්‍යයක් කියලා.

ක්‍රිකට් ක්‍රීඩා කරනවට වඩා රංගනය පහසුද?

ඒක කියන්න අමාරුයි. මොකද මම කලිනුත් කිව්වා වගේ ක්‍රිකට් සහ රංගනය කියන්නෙ පැති දෙකක්. ක්‍රිකට් ක්‍රීඩකයකුට ක්‍රිකට් පටන් ගනිද්දී අමාරු කාර්යයක්. පස්සේ පළපුරුද්දත් සමඟ ඒකට හුරුවෙනවා. ඉතිං මේකත් ඒ වගේ තමයි.

ක්‍රිකට් සෙල්ලම් කරද්දී නම් ඔබට ඩිල්ස්කුප් කියල තමන්ටම ආවේණික ශෛලියක් තිබුණා. රංගනයේදීත් එහෙම දෙයක් තියෙනවාද?

මම තවම රංගන ශිල්පියෙක් නෙවෙයි. මේ කලාවට මම අලුත්. අවුරුදු 15ක් විතර ක්‍රීඩා කරලා මගෙ වෘත්තියත් එක්ක තමයි මම ඩිල්ස්කුප් එක හදා ගත්තෙ. ඉතිං රංගනය මට අලුත් නිසා ටික කාලයක් යනකොට බලමු මේකෙන් මොනවගේ දෙයක් හදන්න පුළුවන්ද කියලා. ඒක ඉතිං මට දැන්ම කියන්න බැහැ.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණොත් ඒවාත් භාර ගන්නවාද?

දැනට තව ආරාධනා නම් ආවා. නමුත් මගේ මූලික අරමුණ භාරගත්ත දෙය කැපවීමෙන් හරියට කරන්න. ඉතිං හැමදේම බදා ගත්තොත් එකක්වත් හරියට කරන්න බැරි වෙයි.

ඔබට බිරියගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති?

ඇත්තටම මට මංජුලාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇයත් අවුරුදු 12කට විතර පස්සෙ 'මිතූ' නාට්‍යයට සම්බන්ධ වුණේ. එයත් නාට්‍යයේ හිඳීම මට ලොකු පහසුවක්. ඉතිං මම හිතන්නෙ මේක අපි දෙන්නගෙම ජීවිතයෙ ලොකු කඩඉමක්. අනෙක අපි දෙන්නා හැම දේම සාකච්ඡා කරලා සහයෝගයෙන් තමයි කරන්නෙ.

ඩිල්ෂාන්ගේ වැඩකටයුතු එක්ක පවුල වෙනුවෙන් වෙන් කරන්න කාලය තියෙනවාද?

අපි කොහොමත් සරල පවුල් ජීවිතයක් ගත කරන්නෙ. දරුවො තමයි අපේ ප්‍රධානම අරමුණ. අපි දෙන්නට මොන වැඩ තිබුණත් එයාලගෙ වැඩ ඉවර කරලා තමයි අපේ වැඩවලට අවධානය යොමුකරන්නෙ. එයාලා හුඟක් පොඩියි. ඒ නිසා මේක අපි එයාලා එක්ක ඉන්නම අවශ්‍ය කාලය. ඒ අතරතුර අපේ සතුට වෙනුවෙනුත් කාලය යොමු කරනවා.

ඩිල්ෂාන් සතුට හොයා යන්නේ කොහොමද?

ඇත්තටම අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. ගොඩක් අයට වැරැදුණ තැනත් ඒකමයි. මොකද ගොඩක් අය හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නෙ. ඉතිං මම හිතන්නෙ අපි ජීවත් වෙන ටික කාලයේ අනෙක් අයට කරදරයක් නොවී, එයාලටත් පුළුවන් විදියට උදවු කරගෙන ඉන්න ඕන. ඒ වගේම හරි විදියට රටටත් දෙයක් කරලා සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි සතුට කියන්නේ.

අලුතින් ගීතයක් කරන්න අදහසක් නැද්ද?

මමයි මංජුලයි කරපු 'භවයෙන් භවේ' ගීතය හුඟක් ජනප්‍රිය වුණා. ගොඩක් අයගෙ හිත්වල ඒ ගීතය තියෙනවා වගේම ඒක හුඟක් සාර්ථක වුණා. ඉතිං මම තනියම ගීතයක් කරන්න කලින් මංජුලා තනියෙම ගීතයක් කරනවා නම් මම ආසයි. මේ වෙනකොට ඒ ගීතයට හැමදේම සූදානම්. බන්දුල නානායක්කාරවසම් තමයි ඒ ගීතය ලිව්වේ. රෝහණ අයියා තමයි එය සංගීතවත් කළේ. ඒකත් ඉතා ඉක්මනින්ම ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ව්‍යාපාර කටයුතු ගැනත් කියමු?

මම අලුතින් 'ඩෙවොන් ටී' කියලා ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා. ඊට අමතරව කිරුළපන සංචාරක ව්‍යාපාරයක් තියෙනවා. අපේ රට වැඩිපුරම දන්නෙ Ceylon Tea නිසා. ඊට පස්සෙ ක්‍රිකට් නිසාත් අපේ රට හඳුනනවා. ඉතිං 'ඩෙවොන් ටී' හරහා රටට ආයෝජනයක් කරන්න උත්සාහ කරනවා. ඒකත් සාර්ථකයි. ඩෙවොන් ටී ඩ්ධබඥත එකත් හදලා තියෙන්නෙ. එය ක්‍රිකට් සංකල්පයට තමයි හදලා තියෙන්නෙ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඡායාරූපය - දුමිල කල්ප

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon