ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බවට පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාවේ ඉන්න මැති ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ගන්න කථානායකවරයාගෙන් ඉල්ලුවා

  👤  1706 readers have read this article !
Published by : MB WEB 2018-06-07 09:06:21

කේ.එස්. උදයකුමාර්


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් තමන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ තේරීම් කාරක සභාව සඳහා පත්කර සිටින මැති ඇමැතිවරුන්ගෙන් ලබාගන්නා ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.


නඩු විභාගයක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණි සිටි අවස්ථාවේදී ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් අලුත්ගමගේ මන්ත්‍රිවරයා මේ
බව කීවේය.


පාර්ලිමේන්තු කෝප් කමිටුව යනු රජයේ ආර්ථික මර්මස්ථානවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරනු ලබන සංවේදී ආයතනයක් බව සඳහන් කළ අලුත්ගමගේ මන්ත්‍රිවරයා එහි සාමාජිකත්වය දරන මැති ඇමැතිවරු නිර්දෝෂී පුද්ගලයන් විය යුතු බව ප්‍රකාශ කළේය.


තමාත් ඒකාබද්ධ විපක්ෂයේ ජයන්ත සමරවීර මන්ත්‍රිවරයාත් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බවට දැනටමත් කථානායකවරයා වෙත දිවුරුම් පෙත්සම් භාරදී ඇති බව සඳහන් කළ අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙය ආදර්ශයට ගෙන කෝප් කමිටුවේ සෙසු සාමාජිකයන්ද කථානායකවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කළ යුතු බවද කීවේය.


අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නොමැති නම් දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම අසීරු කාර්යයක් නොවන බවත් එසේ දිවුරුම් ප්‍රකාශ ලබා නොදෙන මැති ඇමැතිවරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනතාවට හැකියාවක් තිබෙන බවද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon